Posts

Showing posts from December, 2017

රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය

Image
පරිභෝජනවාදී සමාජ ආර්ථික ක්‍රමයක්‌ තුළ 'රැකියාව' යන්නට නිර්වචන සැපයීමේදී එය පුද්ගලයකු ස්‌වාධීනවීමේ මූලික නිර්ණායකයක්‌ ලෙස අපට හඳුනාගත හැකිය. තමන්ගේ දහඩිය මහන්සියෙන් හරිහම්බ කර, කිසියම් වැටුපක්‌ ලැබ, එයින් පෝෂණයවීම හා තම අවශ්‍යතාවන් සපුරා ගැනීම යන පදනම දමාගැනීම උදෙසා ඕනෑම පුද්ගලයකුට රැකියාවකින් ලැබෙනුයේ සුවිසල් වූ ආලෝකයකි. එමෙන්ම රැකියාවක්‌ යනු එහි වාචාර්ථයෙන්ම තම සුක්‌ෂිත බව උදෙසා සිදුකරනු ලබන ක්‍රියාවකි. එහි කේන්ද්‍රීයව පවතිනුයේ ආර්ථික සුරක්‌ෂිතතාවයි. ඊට පසුගාමීව සමාජයීය සුරක්‌ෂිතතාව, සිය පවුලේ සුරක්‌ෂාව, ස්‌වාධීනත්වය, අවශ්‍යතා හා ජීවිතයේ විවිධ ඉලක්‌ක එකින් එක සාපේක්‍ෂ වශයෙන් පෙළගැසී සිටී.   උපාධියට ගැළපෙන රැකියාව  නිදහස්‌ අධ්‍යාපනයත් සමගම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සියලු ජන කොටස්‌වලට විවෘත විය. ඕනෑම දරුවකුට උසස්‌ පෙළ විභාගය ඉහළින් සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබීමට ඉඩහසර උදාවිය. ඒ අනුව ගම් නියම්ගම් මට්‌ටමින් විශ්වවිද්‍යාල වරම් ලබන උපාධි අපේක්‍ෂකයන් පිරිස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. මහපොළ වැනි ශිෂ්‍යත්ව ක්‍රම හරහා එම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවත් සුරක්‌ෂිත කරන