යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)




         



         යාචකයින් හෙවත් සිඟන ප්‍රජාව පිළිබඳව මේ වන විට ලාංකේය බහුතර ජනතාව අතර පවතිනුයේ සංශයාර්ථයකි. එසේ හෙයින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ හිඟමනනීතියෙන් තහනම් කිරීම හා එය කඩකරනු ලබන පුද්ගලයින්ට නීතිමය පියවර ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවීම පිළිබඳවයි. (මෙම ලිපිය ලියන මොහොත වන විට මේ පිළිබදව සමාජයේ විශේෂ අවධානයක් යොමුව තිබූ නමුත් මෙය පලකිරීමට තරමක කාලයක් ගතවිය. එනමුත් මෙය දිනෙන් දිනම දැඩි අවධානයට යොමුවිය යුතු මාතෘතාවක් වන හෙයින් අද දින මෙසේ බ්ලොග්ගත කරමි.) එමෙන්ම අම්බලන්තොට රිදීගම වැනි ප්‍රදේශයක ගොඩනගන පුනරුත්ථාපන කඳවුරකට ඔවුන් ගෙනගොස් දැමීමටද අවධානය යොමු වී තිබේ. එපමණක් නොව හැකියාව, වුවමනාව සහිත අය සඳහා රජය විසින් රැකියා පුහුණුව ලබාදී, ඔවුන්වද මෙරට ශ්‍රම බළකායට එක්කර ගැනීම සබැඳි යෝජනාද මීට සමගාමීව පළවීම කෙරෙහි සමාජය තුළ සංසරණය වනුයේ විවිධ අදහස්ය. මේ අයුරින් හෝ වත්මනේදී යාචක ප්‍රජාව පිළිබඳව කිසියම් අවධානයක් යොමුකිරීම පිළිබඳව බලධාරීන්ට ස්තූතිවන්ත වෙමින්, ශ්‍රී ලංකාවේ යාචක අර්බුදයේ යථාර්ථය වෙත සමීපවීමට මෙතැන් සිට යම් උත්සහයක යෙදෙමු.

යාචකයා යනු කවරෙක්ද?

                යාචකයා පිළිබඳව කතාකිරීමේදී දුගී - මගී - යාචක යන වචන තුනම ඉතිහාසයේ සිට අපට හමුවේ. ඒ අනුව යාචකයා යනු දුගියෙකි. එසේම මගතොටදී මගීන්ගෙන් යැපෙනා බැවින් මගියෙකි. ඉල්ලාගෙන කන, එම ඉල්ලාගෙන කෑම සිය ජීවනෝපාය බවට පත්කරගත් තැනැත්තා හෝ තැනැත්තිය යාචකයා ලෙස සරලවම හැඳින්විය හැකිය. මහාචාර්ය නන්දසේන රත්නපාල ශ්‍රී ලංකාවේ යාචකයාකෘතිය තුළ අප රටේ අතීත යාචකයා පිළිබඳව මෙවැනි විවරණයක යෙදෙයි.

                “...‘යාචකනම කවරදාකවත් නිග්‍රහයක්, අවමානයක් හැටියට යොදා ගැනීම එකල සිදුවී නැත. බෞද්ධ භික්ෂුන්වහන්සේ පවා ගෙන් ගෙට පිඬුසිඟා වඩිමින් සිව්පසය ලබාගත්තේද එක්තරා අන්දමක යාචක වෘත්තියක් අනුගමනය කරමිනි. ආගමික අර්ථයක් ඇතිව කවුරුන් හෝ සිඟමනෙහි යෙදුනහොත් ඒ අයට සැලකීම අපේ උසස් ගුණාංගයක් විය. ඒ අය කවර ආගමක දහමකට අයත් වූවත්, සමාජය ඒ අයට සැලකුවේ ආධ්‍යාත්මික ගුණවගාවක් තිබෙන අය හැටියටය”. (රත්නපාල, ශ්‍රී ලංකාවේ යාචකයා, XII)

                ඒ අනුව අද වන විට සමාජය තුළ පවතින යාචකත්වයට සාපේක්ෂව අතීතයේදී අප රටෙහි යාචකයාට සමාජය තුළ කිසියම් ගෞරවයක්, එසේම අනුකම්පාවක් ගොඩනැගී පැවති බව පෙනේ. සමාජයේ සමහර කොටස් අනුන්ගෙන් යැපිය යුතුයැයි එකල සමාජය පිළිගත්තේය. ආගමික කොටස්වලට සැලකීමෙන් විශේෂ පිනක් දහමක් කරගැනීමට ඔවුන්ට හැකිවිණ. වයසට ගිය අය, විවිධ අසනීපවලට ගොදුරුවූවන්, කිසිවෙකුගේ පිහිටක් නැති අය සඳහා සමාජය පිහිටවිය යුතුය යන විශ්වාසය අපගේ පැරැන්නන් තුළ දක්නට ලැබිණ. ඒ අයට පිහිටවීම එක් අතකින් තමන්ට පින්ලබාදෙයි. අනික් අතට ඒ අයට කරදරයක් නැතිව සමාජයේ ජීවත්වීමට මග පාදයි”. (එම, XIII) යනුවෙන් සිය කෘතියේදී මේ පිළිබඳව මහාචාර්ය රත්නපාලයෝ වැඩිදුරටත් අදහස් දක්වති.

                නමුත් අද වන විට යාචකයෙකු දුටු සැනින් මගී ජනතාව කණස්සල්ලට පත්වේ. සැකය, බිය හා කළකිරීම වැනි මානසික පීඩනය හේතුවෙන් හැකිතරම් දුරට යාචකයන් මගහැර සිටීමට උත්සහ කරති. තමන් විසින් ලබාදෙන මුදල සත්‍යවශයෙන්ම ලබාදෙන්නේ යාචකයෙකුටමද? ඔහු හෝ ඇය සැබැවින්ම අසරණකම හේතුවෙන් යාචකත්වයේ යෙදෙන අයෙක්ද? ඒ ලබාදුන් මුදලින් මත්ද්‍රව්‍ය භාවිත කරාවිද? නොඑසේනම් ඔවුන් විසින් අනුකම්පාව දිනාගනු පිණිස දිගහරින ලද වට්ටෝරුව සැබැවින්ම සත්‍යයක්ද? යනාදී බොහෝ ප්‍රශ්න ඉදිරියේ මගීහු මංමුලාව සිටිති.

මගී සංවේදනා රවටන යාචක චර්යා

            සිඟමන් යැදීමේදී විශේෂයෙන්ම සිදුකරනුයේ මගී ජනතාවගේ සිත්වල අනුකම්පාව උපදින ආකාරයෙන් අවධානය දිනාගැනීමයි. මෙහිදී මගී ජනතාවගේ විවිධ චර්යා රටා, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, අත්වල රැගෙන යන බඩු බාහිරාදිය පිළිබඳව යාචකයන්ට මනා ඉවක් ඇත. එසේම නගරයට ආධුනික බව, මගී ජනතාවගේ කුතුහලය, සබකෝලය වැනි චර්යා රටා දෙස තීක්ෂණ දැනීමක් ඇති යාචකයෝ ඒ ක්ෂණයෙන්ම අසලට පැමිණ සිඟමන් ඉල්ලති.

                 විශේෂයෙන්ම ආගම දහම ගැන පාඨ කියමින් ජන හදවත් තුළ අනුකම්පාව වර්ධනය කිරීමට උත්සහ කරති. සියලුම ආකාරයේ ආගමික, පූජනීය ස්ථානවල ඒ ඒ ආගමට ගැළපෙන අයුරින් ආශිර්වාද කරමින්, පින් පමුණුවමින් ඔවූහූ හැසිරෙති. තමන් විසින් කරන ලද පූර්ව කර්මයක් හේතුවෙන් මෙසේ උපත ලද බවත්, හතුරෙකුටවත් මෙවන් දුකක් නොවේවා යන්නත් ප්‍රාර්ථනා කරති. බුදුන්, හදම්, සඟුන් සරණ ගුණ ගයති. මව් පිය ගුණ සිහිපත් කරමින් සැදැහැවත් ජනතාවගේ ආගමික සිතුම් පැතුම් අවුස්සති. කෑ දේ ගඳයි - දුන් දේ සුවඳයිකියති. අසරණයන්ට සරණවීමේ ආනිශංස සිහිපත් කරති. ඒ ඒ ස්ථානයට සරිලන පරිදි කතාකොට සිඟමන් ඉල්ලති.

                   වරදක් වූවානම්, කරදරයක් සිදුවූවානම් වරකට සිය දහස් වාරයක් සමාව ඉල්ලමින් බස් රථවලට ගොඩවී අවසර පවා රැගෙන ක්‍රමවත් හා විධිමත් මහත්මා විලාසයෙන් සිඟමනේ යෙදෙන අයද සිටිති. ඔවුන්ගේ පිළිවෙලට, ක්‍රමවත් බවට ජනතා සිත් තුළ අනුකම්පාව උපදී. තිබේනම් කීයක් හරි දෙන ලෙස ඉල්ලා සිටිති. එසේම අතේමිටේ නැතිනම් අහක බලා නොගන්නා ලෙසත්, නුදුන්නා කියා අමනාපයක් නොමැති බවත් ඇත්ත ඇති සැටියෙන් කතා කරමින් සිඟමනේ යෙදෙති. අනෙකුත් යාචකයින් මෙන් නොව මොහු ඇත්ත කතා කරනවා, අවංක යාචකයෙකු යැයි යන හැඟීම මගී ජනතාව තුළ ඇතිවන අයුරින් හැසිරී ජනතාවගෙන් මුදල් ඉල්ලා ගනිති.



                සිද්ධස්ථාන භූමි තුළ පමණක් නොව, අද වන විට රටේ සියලුම ස්ථාන ආවරණය කරමින් බස් නැවතුම් පොළවල්, දුම්රිය පළවල්, සංචාරක ස්ථාන, රෝහල්, ළමා උද්‍යාන, වෙරළාශ්‍රිත සංචාරක ප්‍රදේශ, ජනප්‍රිය පාසල් ආශ්‍රිතව, විශ්වවිද්‍යාල, පොලීසි, හමුදා කඳවුරු ආශ්‍රිතව මෙන්ම, විදුලි සංඥා පුවරු ආශ්‍රිතව වැනි සෑම ස්ථානයකම මගී ජනතාවගෙන් යමක් ඉල්ලා ගැනීමේ අරමුණින් විවිධාකාර යාචකයෝ ගැවසෙති. එමෙන්ම ඒ ඒ ස්ථානවලට සුදුසු පරිදි කතාකරති. ‘..ෆෝන් එකට කීයක කාඞ් දානවාද? කීයක ෆිල්ම් බලනවාද..අහිංසක හිඟන්නෙකුට රුපියලක් දුන්න කියල පාඩුවක් වෙන්නෙ නෑ මහත්තයෝ. මේවා මීළඟ ආත්මෙටයි..කියමින් පෙළඹවීම් ඇතිකරති.

                තනි තනිව, පවුල් පිටින්, යුවල වශයෙන්, කුඩා ළමුන් පමණක්, එසේත් නොමැතිනම් කුඩා ළමුන් දෙදෙනෙකු, දරුවෙකු වඩාගත් මවක්/ පියෙක් යනාදී විවිධාකාර අයුරින් මොවූහූ ගැවසෙති. කෙසේ හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කොට, අතට මුදලක් ඉල්ලා ගැනීම මොවුන්ගේ එකම අරමුණ වී තිබේ. මගී ජනතාව අතිශය අපහසුතාවට ලක්වන අයුරින් මෙම යාචක ප්‍රජාව අද්‍යතනයේදී ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. අතේ තියෙන කීයක් හරි එක් අයෙකුට දුන්විට ඒ පිටුපසින් කිහිපදෙනෙකුම යළි යළිත් පැමිණ කරදර කරති. මුලින් දුන් කෙනාට නොදී පසුව පැමිණි අයෙකුට දුන්නේනම් හොඳයැයි විටෙක සිතේ. කිසිවෙකුට නොදී සිටින්නයැයි තිබුණෙ කියා තවත් විටෙක සිතේ. මුදල් නොදී සිටියහොත් ඔළුව අතගාති, අත් දෙකෙන් අල්ලති නොඑසේනම් දෙපිට කැපෙන කතා කියති. මෙම කරදරවලින් බේරීමට කීයක්හරි විසිකොට ඔවුන්ගෙන් ඉක්මනින් ඉවත්ව යන්නට මගීහු පෙළඹී සිටිති.

                නිදහසේ පිනක් දහමක් කරගන්නට පන්සලකට, කෝවිලකට, පල්ලියකට යන්නට නොහැකිය. එම භූමි පුරා පැතිර ඇති මල්, අඩුක්කු, පහන්තිර, තෙල් යනාදී ද්‍රව්‍ය අළෙවි කරන ආගමික වෙළෙන්දෝ ඒවා බලෙන් ඔළුවේ ගසා මුදල් ඉල්ලති. ඒ මදිවාට සිද්ධස්ථාන තුළ විවිධාකාර ආගමික ආධාර පතන්නෝද වෙති. මේ සියලුම කන්කරච්චල් මධ්‍යයේ විවිධාකාර යාචකයෝද පැමිණ දහසක් දේ කියති, ඉල්ලති. ලද විට පින් දෙති. නොලද විට සාප කරති. කරදරයෙන්, වදෙන් බේරෙන්නට අතේ තියෙන පිච්චියෙන් කොටසක් ඒ අයට දෙනවා හැරෙන්නට, සත්‍ය හා අසත්‍ය නිසිලෙස වටහාගෙන පිනක දහමක යෙදෙන්නට තරම් විවේකී මනසක් අද වන විට මගී ජනතාවට නොමැත. අවංකවම බොහෝවිට සිදුවන්නේ පිනට, අනුකම්පාවට දීම නොව. කරදරයෙන් වදෙන් ගැලවීමට දන්දීමකි.

              යාචකයන්යැයි සිතා හිතේ උපදින පරම අනුකම්පාව නිසාවෙන් ගෙදර ඉන්නා දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සිහිකරමින් අතේ ඇති මුදලින් කොටසක් යාචකයින්ට ලබාදුන්නද, නිමේෂයකින් දුම්වැටියක් උරන ඇතැම් යාචකයින් දැකීමෙන් ඇඟේ මාළු නටන්නට පටන්ගත් අත්දැකීම් අපට මෙන්ම ඔබටද ඇතැයි සිතමු. වත්මනෙහි යාචකයෙකුට රුපියලක් දෙකක් දීමෙන් හෝ බත් පැකට්ටුවක් දීමෙන් ඔවුන්ව තෘප්තිමත් කළ නොහැකිය.

           බොහෝවිට දුරගමන් බස් රථයකට පැයක් එකහමාරක් ඇතුළත විටින් විට විශාල යාචකයින් පිරිසක් ඇතුළු වෙති. සමහරු අන්ධයෝය. සමහරු විරිදු කියති. තවත් අය මැජික්කාරයෝය. නාසයෙන් නූලක් යවා එය අතුරුදන් කරන ඇතැම්හු ගල්කැට ගිලිමින් ටියුබ්ලයිට් හපා කති. තවත් අය වෙළඳපොළ වටිනාකම ඉතාමත් අධික මිලකියි කියමින් රැගෙන එන පොත් කට්ටල අඩු මිලකට අළෙවි කරති. සමහරු හිටිවන කවිකාරයෝය. ගහෙන් වැටී ප්‍රතිකාර ලබන පිවරුන්ගේ කරඳඩු උස්වූ පුත්තුද, පලංචියෙන් වැටී ඔත්පලවූ පියවරුන්ගේ පුත්තුද තවත්විටෙක ඇතුළු වෙති. එසේ පැමිණ විවිධාකාරයෙන් ආමන්ත්‍රණය කොට ආයාචනා කරති. මගී ජනතාව තුළ බුද්ධාලම්භන ප්‍රීතිය, මව්පිය ගුණ, සහෝදර කැක්කුම, වැඩිහිටියන්ට ගරුකිරීම වැනි සමාජ සාරධර්ම වගාකිරීම සිහිපත් කරමින් ආගමට දහමට මුවාවී එය පළිහක් ලෙස යොදාගනිමින් සිඟමනේ යෙදෙති.

           මානුෂීය මෙහෙයුමේ වීරවරු ගැන හා ඒ ආශ්‍රිත කඳුළු ඉතිහාසය කවියට නගමින් එකල අප විඳි පීඩිත තත්ත්වය සිහිපත් කොට ජනතාවගේ හදවත් මොළොක් කරති. විශේෂයෙන්ම දුර ගමන් බස් රථවලට එකල එල්ල වූ ත්‍රස්ත තර්ජන ඔබ අප සැමට කිසිදා අමතක කළ නොහැකිය. එවැනි ඉතිහාසයක් සිහිපත් කළවිට ජනතාවගේ දෑත් පොකට්වලට දිවෙනුයේ ඔවුන්මවත් නොදැනමය. ඒ තරමටම ජන හදවත්තුළ පවතින සංවේදී ආස්ථාන සියුම්ව ස්පර්ශ කිරීමේ උපායශීලීත්වය ඔවූහු හඳුනති.

මගී ජනයාද අසරණය

         කාර්යාලවල රාජකාරියෙන් හෙම්බත්වී, හතිදමාගෙන දුවවිත් බසයක් අල්ලා එහිත් ආසනයක් වෙනුවෙන් විශාල සටනක් දියත්කොට, දහදියෙන් දියබත්වී බඩගින්නේ මීළඟ මාස් පඩි පැකට්ටුව ගැන සිතමින්, අතේ මුදල් අරපිරිමැස්මෙන් රැකගෙන ජීවන සටනේ නියැළෙන මගී ජනතාවට මෙම යාචක බලපෑම සැබැවින්ම මානසික වදයකි.

          ඇතැම් වේලාවට මගී ජනතාව යාචකයන්ටත් වඩා අසරණයෝය. හිඟා කන්න බැරිකමට විනා ආසාවකට දුක් විඳගෙන බස්, දුම්රිය ගානේ එල්ලී රස්තියාදුවී රැකියාවලට දුවන්නේ නැත. දරුවන්ට කන්න බොන්න, පාසල් යවන්නට ආදී දහසකුත් බලාපොරොත්තු ජීවත්කරවිය හැක්කේ ඔවුන් රැකියාවක් කොට කීයක් හෝ හරිහම්බ කරතොත් පමණි. මාස් පඩිය ණය ගෙවන්නටත් ප්‍රමාණවත් නැත. බොහෝ අය ගහන්නේ රෝලය. කාර්යාලවල ලොක්කන්ගේ කුණු කතා අසන්නටත් ඕනෑය. ගෙදරත් දහසකුත් ප්‍රශ්නය. ඔබ අපි දුවන්නේ ඒවා විසඳාගන්නටය. ඒ මදිවාට නිදහසේ යන ගමන පාරේ බැහැලා යන්නට නොහැකිය.
සතිඅග හෝ පොහොය දිනකදී මානසික නිදහස පතා නිදහසේ එළියට බසින්නටද අපහසුය. කොහේසිට හෝ අසලට පැමිණ කුමක් හෝ යමක් කියා සල්ලි ඉල්ලති. යාචකයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවී තිබීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුවයි. සියල්ලෝම මිනිසුන් වන වග අපි දනිමු. අපට මෙන්ම ඔවුන්ටද කැමති දෙයක් ආහාරයට ගැනීමේ, කුසගින්න නිවාගැනීමේ, සිනහවී සතුටින් සිටීමේ නිදහස තිබිය යුතු බවද අපි පිළිගනිමු. නමුත් එය එසේයැයි කියා අපි සියල්ලෝම ජීවිතය විඳවිය යුතු නැත.

                බොහෝවිට මෙම අති බහුතර යාචක ප්‍රජාව තුළ සිටිනුයේ යාචක වේශධාරීන්ය. නීතියේ රැහැනින් ගැලවීමට සිඟන වෙස් ගත් අපරාධකරුවෝය. නොඑසේනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝය. එබැවින් අන්ත අසරණ වූ ශාරීරික ආබාධ සහිත අහිංසක යාචක ප්‍රජාවට පවා සිදුවන්නේ බරපතල අසාධාරණයකි. සැබෑ යාචකයින් අභිභවා සිඟන වේශගත් විවිධාකාර තරාතිරම්වල යාචකයෝ බහුල වශයෙන් වර්ධනය වී තිබේ. එසේ හෙයින් යාචක අර්බුදය උදෙසා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පෙර මෙම සැබෑ යාචකයින් හා සාවද්‍ය යාචකයින් කවරහුද යන්න නිසි අයුරින් හඳුනාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුමය. එසේ නොවෙතොත් සිදුවනුයේ සැබෑම යාචක ප්‍රජාව සියදිවි නසාගැනීමට හෝ හොර මැරකම් කල්ලි දක්වා වර්ධනය වී බරපතල සමාජ, ආර්ථික අර්බුදයක් විසින් වෙනත් අයුරකින් සමාජය වෙලා ගැනීමයි.            

යාචකයා සහ තැරැව්කරුවෝ



                යාචකත්වය යනු නිහඬ කෝටිපතියන් බිහිකරන කර්මාන්තයක් බවත්, බොහෝවිට සිදුවන්නේ සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත් අද වන විට ජනතාව හොඳින්ම දනී. එමෙන්ම ජනතාව රවටා බොරු මවාපෑම් සිදුකොට එදිනෙදා තමන්ගේ ආදායම උපයාගැනීම මොවුන්ගේ වෑයම බවද ඔවුහූ දනිති. විශේෂයෙන්ම යාචකත්වය වෘත්තියක් බවට පත්වූයේ එහි ශීඝ්‍ර වර්ධනයත් සමගයි.

                තමන්ට නැතිබැරිකමට, අපහසුකමට සිතුන සිතුන පලියට පාරට බැස සිඟමන් යැදීමට නොහැකිය. තැරැව්කරුවන් මාර්ගයෙන්, යාචක වෙළෙන්දන් ආශ්‍රයෙන් මෙම කර්මාන්තය වෙත ප්‍රවිෂ්ට විය යුතුය. මේ පිළිබඳව විමසා බැලීමේදීද අපට ආශ්‍රය කරගත හැකි ප්‍රධානතම සිංහල මූලාශ්‍රය වන්නේ නන්දසේන රත්නපාලයන්ගේ ශ්‍රී ලංකාවේ යාචකයාකෘතියයි. ඔහු තම කෘතිය තුළින් මෙම යාචක තැරැව්කරුවන් හා වෙළෙන්දන් පිළිබඳව ක්ෂේත්‍ර පර්යේෂණයක් ඇසුරින් කරුණු දක්වා තිබේ. (බලන්න එහි පිටු 115 - 130, 2005, ආරිය ප්‍රකාශන)

                අප දන්නා එක්තරා යාචකයෙක් අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා බස් නැවතුම්පොළක හා එම නගරය අවට පසුගිය කාලයේ සිඟමනේ යෙදුණි. විශේෂයෙන්ම ඔහු ටියුෂන් එන තරුණ ගැහැනු ළමුන් වෙත ගොස් ඔළුව කරකවා ඇස් කරකවා සිඟමන් ඉල්ලයි. කෙල්ලෝ ඔහුට තියෙන බියටම අතේ තිබෙන කීයක් හරි ඔහු දෙසට විසිකොට පළායති. මෙම යාචකයාගේ නමින් බැංකු ගිණුමක් පවත්වාගෙන යන බවත්, යාචකයාගේ කොටස එහි තැන්පත් කොට ඉතිරිය වෙළෙන්දා විසින් ලබාගන්නා බවත් ඒ ප්‍රදේශයේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. නමුත් එයට විරුද්ධවීමට කිසිවෙකුත්ම නොවේ. එය එවැනි සිදුවීම්වල අප දන්නා එක් උදාහරණයක් පමණි.

                අපට නිතර ඇස ගැටෙන, හමුවන යාචකයින්ගේ පසුපස වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. ඔවුන් ලබන දෛනික ආදායමෙන් වැඩිකොටස යන්නේ එම ක්‍රමවේදයේ තැරැව්කරුවන් වෙතය. නොඑසේනම් සාමාන්‍ය යාචකයෙකු දිනකට ලබන වැටුප සලකා බැලීමේදී රජයේ රැකියාවක නියැළෙන විධායක අංශයේ නිලධාරියෙකුට වඩා වැටුපක් ඔවුහූ ලබති. නවාතැන්, කෑමබීම, ඇඳුම් පැළඳුම් යන සියලුම අවශ්‍යතා සඳහා ඔවුන්ට එම මුදල් වැයවන්නේ නැත. ඒවා සුරක්ෂිතව ඉතුරු කළේනම් වසරක් හෝ දෙකක් ඇතුළත ඔවුහූ ලක්ෂපතියෝය. නමුත් සිදුවන්නේ තැරැව්කරුවන් වෙත ලාභය ගලායාමයි. එසේම ඉතුරු කොට ලක්ෂපතියන්, කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වූ ඇතැම් යාචකයින් පිළිබඳවද සමාජයේ විවිධ කතාබහ පවතී.

      උනන්දුවෙන් යාචකත්වයේ නොයෙදුණහොත් තැරැව්කරුවන්ගෙන් හා යාචක කණ්ඩායම් නායකයන්ගෙන් කුණු බැනුම් ඇසීමට සිදුවන බවත්, සමහර අවස්ථාවලදී පහරකෑම්වලට පවා ලක්වන්නට සිදුවන බවත්. කන්නට හෝ බොන්නට නොලැබෙන බවත් නන්දසේන රත්නපාලයෝ සිය කෘතිය තුළ විස්තර කරති. එමෙන්ම යාචකයා සහ තැරැව්කරුවන් පිළිබඳ යථාර්ථය අනාවරණය වන පරිදි නිර්මාණය වූ ඇතැම් කලා නිර්මාණ ඔස්සේද අපට යම් අවබෝධයක් ලබාගත හැකි අතර, ජැක්සන් අන්තනීගේ ඇඩ්‍රස් නෑ’ (2015) සිනමා පටයත්, සුප්‍රකට ද්‍රවිඩ සිනමාපට අධ්‍යක්ෂ බාලා සුබ්‍රමනියන් විසින් නිර්මාණය කළ නාන් කඩවුල්’ (2009) නමැති ද්‍රවිඩ සිනමාපටයත් එහිලා ප්‍රමුඛත්වයේ තැබිය හැකි නිර්මාණය.


යාචකයන් ඇතිවීමට හේතු

                මෙම කාරණාව පිළිබඳව නිශ්චිත විවරණයක් සැපයීම අපහසුය. විවිධ හේතුසාධක මේ සඳහා සෘජුව හා වක්‍රාකාරව බලපායි. මෙරට තුළ මීට දශක ගණනාවකට පෙරාතුවනම් කිසියම් පුද්ගලයෙකු බොහෝවිට සිය උත්පත්තියෙන් හිඟමනට වැටුණේ නැත. සමාජානුයෝජනය ලබා ඔහු හෝ ඇය සමාජය තුළ විවිධ ස්ථර සමග ගණුදෙනුවේ යෙදෙන අතරතුරම යාචක තත්ත්වයට සමාජය විසින්ම ඇදදමයි. මෙය අද වන විට විවිධාකාර වෙනස්වීම්වලට ලක්ව තිබේ. පවුල්පිටින් සිඟමනට වැටී සිය පරම්පරාව මෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයත් මහපාර තුළම තීරණය කරවන මහමග කුටුම්භ පරිසරයක් මෑත කාලීනව යාචකත්වය සමග බිහිවී තිබේ.

                වර්ෂ 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබන සමයේ යාචක පිරිස් හමුවීම ඉතාම කලාතුරකින් සිදුවූවක් බව විද්වත් අදහසයි. එසේම 1960 ගණන්වල අවසානය වන විට යාචක පිරිස් මෙරට තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධ වූ අතර, අද වන විට ක්‍රමානුකූලව බාල මහලු කොයිකවුරුත් කිසිදු කුල මල වර්ග භේදයකින් තොරව යාචකත්වයේ යෙදෙනු පෙනේ. සරලවම පැවසුවහොත් යාචකත්වය අද්‍යතනය වන විට ලාභ ලබන වෘත්තීය මාර්ගයක් ලෙස සමාජ දේහය තුළ සංසරණය වේ.

                රට තුළ විවිධ වකවානුවල වෙනස්වීම්වලට ලක්වූ ආර්ථික ප්‍රතිපත්ති, සංවර්ධන යෝජනාක්‍රම, සංස්කෘතික බලපෑම්, දේශපාලනික පරිවර්තන මෙන්ම, එදා මෙදාතුර රට තුළ ඇතිවූ ස්වාභාවික ව්‍යවසන, ජනවාර්ගික අරගල වැනි හේතුසාධක රැසක අඩු වැඩි බලපෑම මත මෙම යාචකත්වය ශීඝ්‍ර ලෙස වර්ධනයවී ඇති බැව් මෙම ක්ෂේත්‍රය පිළිබඳව සමීප අධ්‍යනයක යෙදෙන්නෙකුට පෙනීයයි.



                මෙරට තුළ විස්තෘත පවුල් පසුබිම ක්‍රමානුකූලව යටපත්ව න්‍යෂ්ටික පවුල වර්ධනය විය. නිදහස් අධ්‍යාපනය, විවෘත ආර්ථිකය මේ සඳහා සෘජුවම බලපෑවේය. ගමේ අධ්‍යාපනය ලබා නගරයට පැමිණි දරුවෝ යළි නගරය තුළ පදිංචි වූහ. දෙමාපියෝ තම මව් ගම්බිම්වලම නතරවූහ. තම තමන්ගේ ස්වාධීනත්වය, නිදහස, තරඟකාරී ආර්ථිකය, සමාජ තත්ත්ව, රැකියාව, අධ්‍යාපනය හා අනෙකුත් පහසුකම් වැනි බොහෝ කරුණු කාරණා හේතුවෙන් විස්තෘත පවුල සී සී කඩ යන්නට විය. අම්මා තාත්තා හුදෙකලා වූහ. කිසියම් ආබාධිත තත්ත්වයක සිටි පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ වගකීම භාරගැනීමට කිසිවෙකුත් නොමැති විය. දරු මුණුපුරු මිණිපිරි සෙනෙහස ක්‍රම ක්‍රමයෙන් දුරස් විය. අන්‍යෝන්‍ය අවබෝධය, ගරුත්වය, සුහදත්වය දුරස්විය. රැකියාව; වත්කම මත සියල්ල තීරණය වන්නට විය. දරුවන්ට අතනොපා ජීවත්වන්නට මව් පියවරු තමන්ට හැකි සෑම වෙහෙසක්ම දැරූහ. කාලයාගේ ඇවෑමෙන් දෙන්න දෙමහල්ලෝ මහපාරට බැස හිඟාකන්නට වූහ. පවුලේ ආබාධිත සාමාජිකයෝද තම තමන්ගේ ආබාධිත තත්ත්ව වෙනුවෙන් සමාජයේ අනුකම්පාව හා සැලකිල්ල අයදිමින් මහ මගට බටහ. රටේ කලතුරකින්, තැනකින් දෙකකින් නිර්මාණය වූ මෙම තත්ත්වය ඉතාමත් ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්තවන්නට වැඩිකාලයක් ගතවූයේ නැත.

          ක්‍රම ක්‍රමයෙන් රට තුළ ජන ගණත්වය වර්ධනය විය. එසේ හෙයින් ජනතාවගේ ඉඩම් පරිමාණ සීමාවන්නට විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු නිසා ඇතැම් ජනකොටස්වලට උන්හිටිතැන් අහිමි විය. ග්‍රාමීය බැඳීම, සැලකිල්ල, ගරුත්වය, පරාර්ථකාමීත්වය, බෙදාහදාගෙන කෑම, භාණ්ඩ හුවමාරු කරගැනීම, ලෙඬේදී දුකේදී අසල්වාසීන්ට පිහිටවීම වැනි හරපද්ධති ක්‍රම ක්‍රමයෙන් අපිමවත් නොදැන අප අතුරින් දුරස් වන්නට විය. අන්තර් සබඳතා ගිලිහී ගොස් ඥාතී සබඳතා දුරස් විය. විශේෂ අවශ්‍යතා ඇත්තවුන්ගේ අනාගතය අඳුරුවන්නට විය.

                එපමණක් නොව උපත්පාලන ක්‍රම, ගබ්සාව හා ආරක්ෂක ලිංගික චර්යා පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය අදටත් බොහෝ පුරවැසියන්ට ආධුනික මාතෘකාය. මේ පිළිබඳ අවම දැනුම හේතුවෙන්ද නොමේරූ ආබාධිත කළල බොහෝවිට සමාජය වෙත ප්‍රසූත විය. නමුත් ඔවුන්ගේ අනාගතය බාරගන්නට, ඔවුන්ගේ රැකවරණයට කිසිවෙකුගේ අවධානය යොමු නොවන තරමටම තරඟකාරී සමාජය අතිශය කාර්යබහුල විය. කිසිවෙකුට බරක්වී ජීවත්වීමට අකමැති වූ එවැනි බොහෝදෙනා මහපාරේ ජනගහනය බහුල ස්ථාන වෙත පැමිණ, තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් යමක් කමක් ඉල්ලා ගනිමින්, එමගින් යැපෙන්නට පුරුදු වූහ. එබැවින් කාලයේ හා බොහෝ සිදුවීම්වල සහවාසයෙන් වාසගමක් රහිතවම සමාජය වෙත යාචකයා ජාතක විය.

               දශක ගණනාවක් පුරාවට රට තුළ පැවති ක්‍රියාන්විත වාතාවරණය හේතුවෙන් මව, පියා අහිමිවූ ඇතැම් කුඩා දරුවෝද, දරුවන් ස්වාමිවරු අහිමිවූ ඇතැම් බිරින්ඳෑවරුද යනාදී අය මෙන්ම විවිධාකාර ආබාධිත තත්ත්වයන්ට ලක්වූ ඇතැම් පිරිස් මෙම යාචකත්වය වෙත සමාජය විසින් ක්‍රම ක්‍රමයෙන් තල්ලුකර දමන ලදි. එසේම 1988 - 89 කාලයේ රට තුළ උද්ගත වූ භීෂණ තත්ත්වය විසින්ද සෘජුව හා වක්‍රාකාරව බිහිකරන ලද යාචක පිරිස ඉතා විශාලය.

               නිෂ්පාදන ආර්ථික ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් යටපත්ව යැපුම් ආර්ථිකයට මෙරට ජනතාව හුරුවන්නට විය. රජයෙන් ලැබෙන සහනාධාර, දීමනා හා වෙනත් වරප්‍රසාද හේතුකොටගෙන බහුතර ජනතාවකගේ උට්ඨාන වීර්යය නවතා දැමුනි. විවිධ ආහාර වර්ග, බඩුභාණ්ඩ, සියල්ල අතටම ලබාදුන්හ. දේශපාලන පොරොන්දු ලබා දුන්හ. ජනතාව ක්‍රම ක්‍රමයෙන් ලැබෙන දෙයින් යැපෙන්නටත්, නොලැබෙනවිට රජයට, ආණ්ඩුවට බලකරන්නටත් හුරුවූහ. කාලයත් සමගම රට තුළ දුගී දුප්පත් බහුතර ජනතාවක් ව්‍යාප්තවීමට මෙම සහනාධාර සංකල්ප බොහෝසෙයින් බලපෑවේය. තමන්ගේ සියල්ලටම රජය, එසේත් නොමැතිනම් ආණ්ඩුව සෙවණැල්ලක් මෙන් සිටිතියි ඔවූහු විශ්වාස කළහ. ජනතාව තමන්ගේ සියල්ල දේශපාලනඥයාගේ කරමත තබා සිහින මවන්නට විය. යැපුම් සමාජ ක්‍රමයක් හා පොරොන්දු දීමේ දේශපාලන ප්‍රවාහයක් රට පුරා ඉතාමත් ශීඝ්‍රයෙන් ගලා යන්නට විය. මෙම ක්‍රියාවලිය අතරතුර කිසිවෙකුගේ අවධානයට ලක්නොවූ සක්‍රීය පුරවැසිභාවය රහිත පුද්ගලයින් රැසක් දුගී මගී යාචකයින් විලස සමාජ දේහයෙන් වඩාත් දුරස් වන්නට විය.

              ඇමරිකානු  සමාජ විද්‍යාඥයෙකු වූ හාර්ලන් ඩබ්ලිව් ගිල්මෝර් විසින් දක්වන ලද අදහසක් මෙහිදී උපුටා දැකවීම වටී. ඔහු ප්‍රකාශ කළ ආකාරයට හිඟන්නන් ඇතිවන්නේ සමාජයට, සමාජයේ ජීවත්වන සෑම කෙනෙකුටම යෝග්‍ය රැකීරක්ෂාවල නිරත කරලීමට දුෂ්කර නිසාය. ඒ නිසා යාචකයෙකුවීම හා වෙනත් ආකාරයෙන් සමාජයෙන් ක්‍රමිකව ඉවතට තල්ලු කරන ලද තැනැත්තෙකුවීම මූල්‍යමය අතින් වාසිදායක වන්නේය. මේ මූල්‍යමය වාසියට වඩා සාර්ථක වෙනත් කිසිම විකල්පයක් සොයා ගන්නට නොහැකිවී ඇත. එසේම කිසිදු සමාජ හංවඩුවකින් එය නැවැත්විය නොහේ. ඒ නිසා හුඟදෙනෙක් රජයෙන් ලැබෙන සහනාධාර හෝ වඩා අඩුවෙන් වැටුප් ලැබෙන රැකීරක්ෂා හෝ ප්‍රතික්ෂේප කොට යාචක වෘත්තියට ඇදීයාම ස්වාභාවිකය’. (ගිල්මෝර්, ද බෙගර්, 1937)

               සංවර්ධිත රටවල පවා විවිධාකාර යාචකයින් සිටී. Homeless People ලෙසින් හඳුන්වනු ලබන ඔවුහූ මගතොටේ කිසිවෙකුගෙන් හෝ යමක් කමක් ඉල්ලාගෙන බඩවියත රැකගනිති. නමුත් ශ්‍රී ලංකාව, වැනි පෙරදිග රටවල මෙම යාචක ජනගහනය වෙනත් අපරදිග රටවලට සාපේක්ෂව ඉහළ බැව් සංගණන වාර්තා අධ්‍යනය තුළින් පෙනී යයි. එයට බොහෝ වශයෙන් හේතුවක් වන්නේ පෙරදිග රටවල ජනවිඥානය හා චර්යා ධර්ම පද්ධති සකස්වී ඇති ආකාරයයි. ආගම, දර්ශනය හා විශ්වාස පදනම් වූ ආධ්‍යාත්මික රටාවක් මෙන්ම ආධාර, සහනාධාර උපකාර මත කේන්ද්‍ර වූ යැපුම් මානසිකත්වයක්ද බොහෝවිට මෙම රටවල ජන විඥානය තුළට ස්වාභාවයෙන්ම ඇතුළු වී තිබේ. මහාචාර්ය රැල්ෆ් පීරිස් නමැති සමාජ හා මානව විද්‍යාඥයා පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව වැනි රටක යාචකයන් වර්ධනය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පිනපිළිබඳ සංකල්පයයි”. (පීරිස්, ආසියාවේ සංවර්ධන රටාව, 1977)

නවජීවනකරණය

                යථොක්ථ කරුණු කාරණා මෙන්ම ඒ හා සමගාමී තවත් හේතු සාධකවල අඩු වැඩි බලපෑම හේතුවෙන් සැබැවින්ම බිහිවූ යාචක ප්‍රජාවක් මෙන්ම, යාචකයින් යැයි නිසිලෙස හඳුනාගත නොහැකි රැවටිලිකාරී යාචක වේශධාරීන් රැසක්ද අද වන විට මගී ජනතාවගේ සංවේදනා ආක්‍රමණයකොට හමාරය. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් එහි ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම උදෙසා විවිධ පාලන තන්ත්‍ර විසින් ගෙන ආ නොයෙකුත් සංවර්ධන සැලසුම්වලටද මෙම යාචක ප්‍රජාවේ අවශ්‍යතාවන් නිසිලෙස හසුකර ගැනීමට ඉතිහාසය පුරාවටම නොහැකි තිබේ.

                ආණ්ඩු වෙනස් කිරීමේත්, ඒවා වෙත කිසියම් බලපෑමක් කිරීමේත් කුමන හෝ බලපෑම්සහගත බලවේගයක් මෙම යාචක ප්‍රජාවට නොමැති නිසාමදෝ, කිසිදු ජාතික සංවර්ධන සැලසුමක් තුළ යාචකයින් කෙරෙහි සැලකිය යුතු ආකාරයේ අවධානයක් යොමුවී නොමැත.

                නමුත් සමාජය තුළ මෙම යාචකත්වය සමනය කිරීම පිළිබඳව විවිධ මතවාද ගොඩනැගී ඇති අතර, යාචකයින්ට හිඟමන් නොදී සිටීමට වගබලා ගැනීමත්, යාචකත්වය නීතියෙන් තහනම් කිරීමත් යන යෝජනා ඒ අතර ප්‍රධානත්වයක් ගනී. හිඟමන් නොදී සිටීම යන කාරණාවේදී සැබෑ යාචකයින්ට සිදුවන අසාධාරණය වැළැක්විය නොහැක. එසේම නීතියෙන් යාචකත්වය තහනම් කිරීම තුළ සිදුවන්නේත් කිසිවකුත් කර කියාගත නොහැකිව අසරණව සිටින යාචක ප්‍රජාව අන්ත අසරණ තත්ත්වයට ඇදවැටීම පමණි.

            එසේ හෙයින් මෙහිදී සිදුකළ යුත්තේ සැබෑම යාචකයින් හා යාචක වේශධාරීන් නිසි පරිදි හඳුනාගැනීමට ව්‍යාපෘතියක් දියත් කිරීමයි. එමගින් හඳුනාගන්නා ලද සැබෑ යාචක පිරිස් ඔවුනොවුන්ගේ හැකියා අනුව සලකා බලා මෙරට ශ්‍රම බළකායට ඇතුළත් කරගත හැකිය. ඔවුන්ටද ඡන්ද අයිතිය හා ඡන්දය ප්‍රකාශකිරීමේ අවශ්‍යතාව වටහාදී ජාතික හැඳුනුම්පතක් සමගින් මෙරට සක්‍රීය පුරවැසිභාවය වෙත අන්තර්ග්‍රහණය කිරීම කළ හැකිය. මෙතුළින් හඳුනාගන්නා ලද යාචක වේශධාරීන්ටද නීතියෙන් හා පුනරුත්ථාපන ක්‍රම ඇසුරින් උපදේශන ලබාදී මෙම සියලුම පිරිස් නවජීවනකරණයකට හෙවත් අලුත් ජීවන රටාවක් වෙත හුරු කරවීම ඉතාමත් කාලෝචිතය.

Image result for rehabilitation of beggars

           රටක සංවර්ධන යෝජනා සකස්විය යුත්තේ පාරේ කොනේ අයිනක නිදියන අහිංසක යාචකයාටද බලපාන අයුරිනි. ඒ සියල්ලෝම රටේ පුරවැසියෝය. කායික, මානසික විවිධ හේතුසාධක මධ්‍යයේ කිසිවෙකු මෙම සමාජයේ ආන්තිකකරණයට ලක්විය යුතු නොවේ. එසේ හෙයින් සමස්තයක් ලෙස රටේත්, පොදුවේ තමන් වැනිම ජනකොට්ඨාසවලත් අනාගතය වෙනුවෙන් පැහැදිලි අවබෝධයක් සහිත පුරවැසියෙකු ලෙස වත්මන් යාචක ප්‍රජාව සමාජ දේහය වෙත භාරගත යුතුය. යාචකයින් රැගෙන ගොස් එක් ප්‍රදේශයකට දමා යාචක කඳවුරු බිහිකිරීම තුළින් පමණක් මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරු සෙවිය නොහැකි වන අතර, ශ්‍රී ලංකාවේ සමාජයීය ප්‍රශ්න අතර ඉහළින්ම වැජඹෙන මෙම අර්බුදය වෙත සමාජයීය නැඹුරුවකින්ම විනා වෙනත් අයුරකින් කිසිදා ප්‍රායෝගික විසඳුම් සෙවිය හැකි නොවනු ඇත.

කසුන් සී තිලකරත්න 


    

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය