අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය


Image result for literature and society

පසුගිය සතියක දිවයින "වටමඩල" සාහිත්‍ය කලා සංග්‍රහයේ පළ වූ "සාහිත්‍යයෙන් සිදු කළ හැක්‌කේ ආකල්ප වෙනසක්‌ විනා සමාජ වෙනසක්‌ නොවේ" යන හිසින් යුත් ලිපිය කිය වූ මට ඊට ඌණ පූර්ණයක්‌ ලියන්නට සිත්විය. අදාළ ලිපිය තුළින් දිලිනි ආරියවංශ අවධාරණය කරනු ලබන්නේ සාහිත්‍ය තුළින් පුද්ගලයාගේ ආකල්ප වෙනසක්‌ පමණක්‌ ඇති කරන බවත්, එතුළින් සමාජ වෙනසක්‌ සිදු නොවන බවත්ය. නමුත් ඇගේ අදහස ප්‍රාථමික මට්‌ටමේ පවතින බව අපට සිතේ. මන්දයත් මෙම අදහස තුළින් ඇත්ත වශයෙන්ම පාඨකයා අතරමංවීමත්, එසේත් නැතිනම් නිර්මාණකරුවා අතරමංවීමක්‌ සිදුවන්නා වූ බැවිනි. 

සාහිත්‍යයෙහි අරමුණ පුද්ගලයා තුළ වින්දනයක්‌ ආශ්වාදයක්‌ ජනිතකරවීමය. පෙර අත් නොවිඳි ආනන්දයක්‌ පුසුෂ්පිත කරවීමය. සාහිත්‍ය තුළින් බොහෝ විට සිදුවනුයේ නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීමක්‌ නොඑසේනම් අනුභූතියක්‌ පොදු බවට හරවා එය සමාජ ගත කරවීමය. 

"කලාකරුවා යථාර්ථයෙන් ආපසු හැරුණු කෙනෙකි. එසේ වුවද යථාර්ථය වෙත ආපසු පැමිණෙන මාර්ගය කලාකරුවා සොයාගෙන ඇත" යනුවෙන් මනෝවිශ්ලේෂණවාදී ගුරුකුලයේ කර්තෘවර සිග්මන් ෆෙයිඩ්, කලාකරුවා අරබයා සිය මතය දක්‌වා තිබුණේ එසේය. එනම් පුද්ගලයාගේ ආකල්පයන්, සිතුම් පැතුම් අපේක්‍ෂාවන් වෙනස්‌ කරවීමේ මාර්ගය (යථාර්ථය) කලාකරුවා හොදාකාරවම දන්නා කරුණකි. 

එකල සමාජය තුළ පැවතියා වූ කුලභේදය, සමාජයේ වූ දුෂ්ට සිරිත්, විවාහයට බැඳෙන අයගේ නොගැලපීම් හා අනුමැතිය නොතකා වටිනා තරුණ ජීවිතයත් කාලකණ්‌ණි කමට පත්කිරීමට මංසලසන වැඩකට නැති සිරිත් විරිත් ආදිය "ගුරුළුගෝමීන්ගේ" හා "උමංදා" කරුවන්ගේ උපහාසාක්‍ෂියට ගොදුරු විය. දිට්‌ඨමංගලිකා කථාව, පිංගුත්තර කථාව ආදියෙන් ඒ බැව් මනාවට පැහැදිලි වේ. තවද වීදාගම තෙරණුවෝ බුදුගුණාලංකාරය හරහා බමුණන්ගේ නුගුණ වනමින් උන් එකළ සමාජය දූෂණය කළ හැටි විදහාපාමින් කළ නිර්මාණ හරහා ඒ අවදියෙන් පසුව ආ පරම්පරාවෝ ඔවුන් කෙරෙහි විශ්වාසයක්‌ නොතබා කටයුතු නොකිරීමට වගබලා ගත්හ. 

"බොරුවේ මතුර බැ ඳ 

වලඟන ලෙවන් හැම ස ඳ 

බමුණන්ගෙන් දුල ද 

වැඩක්‌ වූයේ ලොවට කි කල ද 

යනු ඊට නිදසුනකි. එකල ජනයා, පවතින නුගුණ අසාධාරණය, අසමානතාව මෙන්ම අයුක්‌තිය ආදිය උදෙසා නැගී සිටියහ. සාහිත්‍යය විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍ය හරහා ඊට අවැසි අඩිතාලම නොඑසේනම් පෞරුෂය පුද්ගලයා තුළ ඇති කරවන ලදී, නමුත් දිලිනි පවසන ආකාරයට කෙතරම් සාහිත්‍ය නිර්මාණ බිහිවුවද රසවින්දනය කළද සමාජයේ කිසිදු වෙනසක්‌ නොසිදුවී ඇත. පුද්ගලයාගේ ආකල්ප පමණක්‌ තාවකාලිකව වෙනසකට බඳුන් වී ඇත. ඇගේම වදනින් කියන්නේ නම් "සාහිත්‍ය කරුවාගේ කාර්යභාරය වන්නේද සමාජ රටාව ප්‍රතිනිර්මාණය කිරීම නොව, සහෘදයාගේ ආධ්‍යාත්මය ප්‍රතිනිර්මාණය කිරීමයි" යනුවෙන් ඇය සිය අදහස සනාථ කරනු වස්‌ යොදා ගත්තේ "මහගම සේකර" සූරීන්ගේ "ප්‍රබුද්ධ" යෙහි උපුටනයකි. 

"..... හිස්‌ය මේ ජීවිතය - බොල්ය. මේ ජීවිතය බලව් 

රන් දුහල් යට 

සුවඳ විලෙවුන් අතර 

අතට අත දෙන 

ඇඟිලි කරු අතර 

නිර්වස්‌ත්‍ර්‍ර වී පෙනෙන කුහක කම ....." 

මෙවැනි නිර්මාණයක්‌ රසවිඳින පාඨකයා එම අවස්‌ථාව තුළ පමණක්‌ සිය ආකල්පවල වෙනසක්‌ ඇති කර ගනී. එසේම මෙවැනි නිර්මාණ රසවිඳීමෙන් ඉක්‌බිති, භෝජන සංග්‍රහ, ප්‍රියසම්භාෂණ නතර වූ අවස්‌ථාවක්‌ හෝ ඉන් වැළකුණු අයකු සොයා ගත නොහැකිය යනු දිලිනිගේ අදහස වී ඇත. නමුත් අවධාරණයෙන් කිව යුත්තක්‌ ඇත. අද සමාජයට අනුව, එනම් වම්කනින් අසා දකුණු කනින් පිටමං කරන සමාජයට අනුව එසේත් නැතිනම් "වැළ යන අතටම මැස්‌ස බඳින සමාජය" ට අනුව නම් ඇගේ අදහස මනාවට සුසංකලනය වනු ඇත. 

නමුත් තමා ළඟ ඇතිවන ආකල්පමය වෙනස හරහා සමාජය වෙනස්‌ කරන්නේ නම් පුද්ගලයා බැඳී සිටී. විශේෂයෙන්ම ඇය පුද්ගලයා වනාහි සමාජයේ තැනුම් ඒකකය නැතිනම් කේන්ද්‍රය වන බව අමතක කොට ඇත. ඒ නිසා ඇය පුද්ගලයාගේ වෙනස තුළින් ඉබේටම සමාජය වෙනස්‌ වන බව තේරුම් ගෙන නොමැතිය. නමුත් දිලිනි ආරියවංශ පවසන ආකාරයට සත්‍යයක්‌ද නැතුවම නොවේ. එනම් සාහිත්‍ය තුළින් ආමන්ත්‍රණය කරන්නේ පුද්ගලයාටය. එසේ නැතිව සමාජයට නොවේ" නමුත් පුද්ගලයා තුළින් සමාජය සුසැදුම්වන වග පිළිගත යුතුය. බණ කියන්නටත්, හොරු තනන්නටත්, උපාසකයන් උපදවන්නටත් සාහිත්‍යයට හැකිය. 

"සංගීත, සාහිත්‍යාදී කලාවන්ගෙන් විහිත තැනැත්තේ වලිගයක්‌ අංදෙකක්‌ අඩු ගොනෙකි. ඔහු තණ නො බුදීම ගොනුන්ගේ වාසනාවකි" 

යනුවෙන් අපේ උපදේශ ග්‍රන්ථයක්‌ වන භක්‌තිශතක පෙන්වා දෙන්නේ සාහිත්‍ය නොමැති පුද්ගලයාගේ ස්‌වාභාවයයි. පුද්ගලයා ගොනෙක්‌ වන්නේ යම් සේද පුද්ගල පිරිස වනාහි ගොන් රැළක්‌ වීම නොවැළකිය හැකිද? එනම් ගොන්රැළ වෙසෙන වපසරිය ගොන් සමාජයක්‌ නොවන්නේද? දිලිනි පවසන ආකාරයට එය එසේ නොවන්නේය. 

වර්ෂ 1846 දී ෆෙඩ්රින් එංගල්ස්‌ හා කාල්මාක්‌ස්‌ සුසංයෝගයෙන් විරචිත "කොමියුනිස්‌ට්‌ ප්‍රකාශන" රුසියානු විප්ලවයට මග පාදමින් සාර් රජුගේ හිම මාළිගාවට අවුරාරෝ යුධ නැවෙන් ප්‍රහාර එල්ල කරවීමට සමත් විය. ඒ හරහා වී. අයි. ලෙනින් නමැති අසහාය විප්ලවවාදීයා ධනවාදී රුසියාව සමාජවාදී රුසියානු සමූහාණ්‌ඩුවක්‌ බවට පත්කිරීමටත් සමත් විය. අප රටේ එස්‌. මහින්ද හිමි, පියදාස සිරිසේන, කුමාරතුංග මුණිදාස වැනි ලේඛකයන්ගේ නිර්මාණ එදා නිදහස්‌ සටනට, නොඑසේනම් සුද්දන්ගෙන් මෙරට මුදාගන්නට අපේ ජාතික නායකයන්ව මෙහෙයවීමට සමත් විය. ඉතින් සාහිත්‍ය හරහා සමාජය වෙනස්‌ වන බව නොපිළිගත හැකිද? එසේම අප රටේ දීප්තිමත් විදේශ ඇමැතිවරයකුව සිටි ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලබන්නේ එක්‌තරා ඉංග්‍රීසි චිත්‍රපටයක්‌ ඇසුරින් ලබාගත් ශිල්ප ඥානය බව අදාළ මිනීමරු ත්‍රස්‌තවාදියාගේ පාපොච්චාරණයෙන් හෙළිදරව් විය. 

"කැළෑ පත්තර" කලාව ඔබ අසා ඇත. මෙම කැලෑ පත්තර කලාව බිහි වූයේ අපූරු සාහිත්‍ය නිර්මාණයක්‌ වශයෙනි. මේ තුළින් ධනවතුන්ට ප්‍රභූන්ට ඕනෑතරම් මඩගැසීමට හැකිය. ඔවුන් යන අඳුරු මංපෙත හරස්‌කොට නව මංපෙත් ඔස්‌සේ ගමන් කරවන්නට "කැලෑපත්තර" සාහිත්‍ය සමත් විය. එබැවින් සමාජ වෙනසට සාහිත්‍යයෙන් බලපෑමක්‌ නොවන්නේ නම් එයට බලපෑම් කරන්නට සමත් වෙනත් විකල්පයක්‌ නොමැති බව අපගේ අදහසයි. එබැවින් දිලිනි පවසන අදහස යටපත් වීමක්‌ සිදුවේ. නමුත් මෙවන් වූ කතාබහකට මුලපිරීම ඇගේ කුසලතාව පෙන්නුම් කරන බවත් මේ හරහා සංවාද විසංවාද බිහිකළ හැකි වීමත් නිසා ඇගේ වෑයම අගය කළ යුතුය. 

"කවීහු වනාහී නිල නොලත් ලෝක පාලකයෝය" මෙසේ ප්‍රකාශ කරනුයේ බටහිර ජ්‍යෙෂ්ඨ විචාරකයකු වූ පී. බී. ෂෙලීය. මේ හරහා ඔහු දක්‌වන මතය වන්නේ සමාජයක්‌ වෙනස්‌ කරන්නටත්, වෙනස්‌කරමින් පාලනය කරන්නටත් නිලයන් නොලද පාලකයෙක්‌ බවට සාහිත්‍යය කරුවා පත්කරවීමය. එබැවින් අපට පෙනෙනුයේ සාහිත්‍ය වනාහී සෘජුවම පුද්ගල ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කොට ඒ හරහා සමාජයේ වෙනසට දායක වන්නාවූ දෙයක්‌ වන බවය. රස විඳින්නා තමා තුළ ඇති වන ආකල්ප වෙනස තුළින් සමාජය තැනීමට දායක විය යුතුය. ස්‌වයං වෙනස තුළින් එය සිදුකළ හැකිය. එබැවින් අනිවාර්යයෙන්ම සාහිත්‍යය තුළින් සමාජ වෙනසක්‌ සිදුකළ හැකි බව පැවැසිය හැකිය. 

(මෙම ලිපිය මාගේ විශ්වවිද්‍යාල මිතුරියක වන දිලිණි ආරියවංශගේ පෙර ලිපියකට පිළිතුරු වශයෙන් ලිවූවකි. ඒ 2010 වසරේදී අප විශ්වවිද්‍යාලයේ 2 වන වසර සිසුවන් ලෙස සිටියදීය. ඇය මේ වන විට රුහුණු සරසවියේ සිංහල කථිකාචාර්යවරියකි. මෙම ලිපි අපගේ මුල් කාලයේ ලියූ ඒවා බැවින් සමහර කරුණුවල බොහෝ ගැටලු සහගත තැන් ඇති බව අද අපට වැටහේ. නමුත් මේවා මෙම බ්ලොගය වෙත අන්තර්ගත කරනුයේ එම මතකයන් සියල්ල එක තැනකට ගෙන ඒමේ අටියෙන් බැව් කාරුණිකව සලකන්න)



Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)