රටේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයේදී ආරක්ෂක අංශ මගහැරිලාද?


කොරෝනා වෛරසය මගින් මුළු මහත් ලෝකයම දැඩි පීඩාවට හා විපරීත කරණයට ලක් කොට ඇති මෙවන් අවාසනාවන්ත යුගයක ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ළමා ආරක්ෂාව පවතිනුයේ ඉතාමත් අවදානම්කාරී පසුබිමකය.

ළමා ආරක්ෂාවට සිදුවන විවිධ අභියෝගාත්මක තත්ත්ව සම්බන්ධයෙන් ඉඳහිට ප්‍රසිද්ධ මාධ්‍යයේ පුවත් කිහිපයක් පමණක් වාර්තා වුවද, එසේ ප්‍රසිද්ධියේ වාර්තා නොවී තර්ජනයට ලක්ව පීඩා විඳිමින් දිවි ගෙවන ළමා ජීවිත ප්‍රමාණය නම් මෙතෙකැයි කියා ගිණිය නොහැකි තරම්ය.

සත්‍යම තත්ත්වය නම් එදා වර්ෂ 1989 දී විශ්ව ළමා ප්‍රඥප්තිය බිහිව වසර තිහක් ඉක්මවා යන මේ මොහොත වන විටද ළමා ආරක්ෂාව ඉතාමත් බරපතළ අයුරින් සමස්ත ලෝකයේම තර්ජනයට ලක්ව තිබීමයි.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් අද වන විට වෙනදාට වඩා වැඩි උනන්දුවක් සහ කැපවීමක් සියලුම රාජ්‍ය, රාජ්‍ය නොවන මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් ද සිදු කරනු ලබන බව ඉතා පැහැදිලි කරුණකි.

විශේෂයෙන්ම පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ළමා ලේකම් කාර්යාලය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතන වල මූලිකත්වයෙන් යුතුව ළමයින් හා සම්බන්ධ සුවිශේෂී සෙසු රාජ්‍ය ආයතන 12ක නියෝජිතයන්ගෙන් සැදුම් ලත් විද්වත් සභාවකින් යෝජනා වූ ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ද වර්ෂ 2019 දී අනුමතව ඇත.

එසේම එම ආයතන 12 සමග සාකච්ඡා කොට 2021 - 2025 සඳහා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ද සම්පාදනය වී තිබේ.

මේ සියල්ල ප්‍රශංසනීය අයුරින් කෙසේ සිදු වුවද රටේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානය යොමු නොකරන, කතා කිරීමට සෘජු මැදිහත්වීමක් නොදක්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ මෙරට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සක්‍රිය දායකත්වය ලබා ගැනීම පිළිබඳවයි.

නමුත් ගෞරවනීය සමාජ තත්වය හේතුකොටගෙන ඒ මත පිහිටා මෙම අංශය වෙත එසේ අඩු අවධානයක් ලබාදී මඟහැරිය යුතු නොවේ. 

එය අවශ්‍යයෙන්ම සාකච්ඡාවට බඳුන් කළ යුතුමය. එසේ නොවුවහොත් සිදුවන්නේ ගෞරවයේ නිර්මාතෘවරුන් විසින්ම අගෞරවයද නිර්මාණය කිරීම ස්වභාවික කරුණක් බවට පත්වීමයි.

විශේෂයෙන්ම ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයේදී සිදුකරනු ලබන ප්‍රධාන හා මූලිකම කාර්ය වනුයේ සමාජය තුළ දැනුවත්භාවය ඇති කිරීමයි.

සුවිශේෂී ඉලක්ක කණ්ඩායම් හා අවදානම්සහගත කණ්ඩායම් තෝරාගන්මින් ළමා ආරක්ෂාවේ පණිවුඩය එම කණ්ඩායම් අතරට ගෙන යමින් ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැනුවත්භාවයෙන් යුතු සමාජ කණ්ඩායම් බිහි කිරීම එම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ වනවිට සෑම සමාජ කණ්ඩායමක් වෙතම අඩු වැඩි වශයෙන් ළමා ආරක්ෂාවේ පණිවුඩය සංසරණය වෙමින් පවතී. 

එනමුත් අප මේ සාකච්ඡාවට බඳුන් කරන ‘ආරක්ෂක අංශ' යන ඉලක්ක කණ්ඩායම වෙත රටේ ළමා ආරක්ෂාවේ පණිවුඩය ගලායාම විධිමත් හා ප්‍රමාණවත් අයුරින් සිදුනොවන බව නිරීක්ෂණය වේ.

රටේ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය සුරක්ෂිත කරනු වස් මේ වන විට දළ වශයෙන් ලක්ෂ 7කට ආසන්න ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙරට ආරක්ෂක අංශය නියෝජනය කරති.

එමෙන්ම රටේ සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු බහුතරයක් අපේ ආරක්ෂක අංශ සමග ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ පවුල්ය.

එය එසේ නමුත් රටේ ළමා ආරක්ෂාවේ පසුබිම හා ළමා ආරක්ෂාව පිළිබඳ විධිමත් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත සංසරණය නොවීම, ළමා ආරක්ෂාව තහවුරු කීරීමේ කාර්යේදී බරපතල අඩුපාඩුවකි.

විශේෂයෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරන සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් විවිධ අයුරින් ළමා ආරක්ෂාවේ තර්ජනයට මුහුණ දුන් අවස්ථා අප රටේ සියලු මාධ්‍යයන් හරහා ඕනෑ තරම් වාර්තා වී තිබේ.

මාධ්‍ය මගින් වාර්තා නොවුනද ගම් මට්ටමින්; ග්‍රාමසේවා වසම් මට්ටමින් නිරීක්ෂණය වන සත්‍යම කාරණාවනම් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ දරුවන්, ළමා ආරක්ෂාවට අවදානම්සහගත කණ්ඩායමක් ලෙස සැළකීමේදී බොහෝ විට ඉතාමත් ඉදිරියෙන් ස්ථානගත කළ හැකි වීමයි.

විශේෂයෙන්ම, ආරක්ෂක අංශ සාමාජිකයින් බහුල වශයෙන් සිය පවුල් හැරයාම, දික්කසාද වර්ධනය වීමේ ප්‍රවණතාව, හැරදැමූ දරුවන්ට සහ බිරින්දෑවරුන්ට නඩත්තු නොගෙවීම්, අත්තනෝමතික ලෙස චේතාන්විතව හැරයාම, අනියම් සබඳතා හේතුවෙන් දරුවන් අසරණවීම, පවුල් අභ්‍යන්තර සමගිය හා යහපත් දෙමාපිය දූ දරු සබඳතා බිඳ වැටීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිවිල් නීතිය හා ආරක්ෂක අංශ නීතිය අතර ඇතැම් ගැටලු සහගත අවස්ථා උද්ගතවීම වැනි ඉතා සංවේදී කාරණා ගණනාවක්ම මෙම ක්ෂේත්‍රය පිළිබදව සාකච්ඡා කිරීමේදී නිරීක්ෂණය වේ.

තවද ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සමාජ විරෝධී ක්‍රියා කලාප හේතුවෙන් බොහෝවිට වින්දිත පාර්ශ්වය වන අහිංසක දරුවන් හෝ බිරින්ඳෑවරුන් අසාධාරණ අයුරින් අසරණ වන අවස්ථාද මෙරට නැතුවාම නොවේ.

එපමණක් නොව අවාසනාවකට මෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය යන සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ඉතාම සුළුතරයක් විසින් සිය නොදැනුවත් භාවය නිසාම දරුවන්ගේ ආරක්ෂාව උල්ලංඝනය කළ අවස්ථා රැසක්ම මෙරට බොහෝ පොලිස්  කොට්ඨාසවලින් වාර්තා වීමද බරපතල කරුණකි. 

එසේම පසුගිය ආසන්නතම වසර කීපයක කාලය තුළ ළමා ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ සිදුවීම් පසුපස සෘජුවම හෝ වක්‍රාකාරව ආරක්ෂක අංශ සාමාජිකයෙකු සිටින වගට මෙරට සියලු පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්‍යංශ පැහැදිලිවම සාක්ෂි දරනු ඇත.

තත්ත්වය මෙසේ සිදුවීමට හේතු සාධක ගණනාවක්ම බලපා තිබේ.

විශේෂයෙන්ම රටේ භෞමික අඛණ්ඩතාව, ජාතික ඒකාග්‍රතාව වැනි කාරණා ඔස්සේ ආරක්ෂණ ක්‍රමවේද හා යුධ උපාය ක්‍රම ශිල්ප පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන, පුහුණුව ලබන හා ඒ මත මනස මෙහෙයවන ආරක්ෂක අංශ වෙතින් රටේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාමාන්‍ය දැනුම හා අවබෝධය ගිලිහී යාම නොවැළැක්විය හැකි කරුණකි.

අප මෙහි දී සිදුකරනුයේ යුද්ධයේ කුරිරු භාවයෙන් පීඩා විඳි දරුවන් බේරා ගැනීම හෝ රටේ ඇතිවන සියලුම ආකාරයේ හදිසි ආපදා වලදී සිය දිවි දෙවෙනි කොට රටේ දරු පරපුර මෙන්ම, සියලු ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන අප්‍රතිහත කැප කිරීම හෑල්ලුවට ලක්කිරීමක් නම් නොවේ.

එම අවස්ථාවල ඔවුන්ගේ සේවය නොවන්නට රටේ දරු පරපුරට සැබැවින්ම අනාගතයක් නොමැති වග අප අවිවාදයෙන්ම පිළිගනිමු. ඒ පිළිබඳව හිස නමා ආචාරයද එක්කරමු. 

නමුත්, අප මේ කතා කරනුයේ ළමයින් සම්බන්ධව පවතින කායික, මානසික, ලිංගිකමය හා නොසලකා හැරීම යන කරුණු ඇතුළත් ළමා ආරක්ෂාව හා යහපත් දෙමාපියභාවය යන ක්ෂේත්‍රය පිළිබඳවය.

තරුණ සමයේදීම සිවිල් සමාජයෙන් දුරස්ථව ආරක්ෂක අංශ වෙත යාවජීව වීම හේතුකොටගෙන බාහිර සිවිල් සමාජය සමග ගැටෙන ප්‍රමාණය ඉතාමත් අවම වීම මෙන්ම සිවිල් නීතිමය කාරණා පිළිබඳ අවම දැනුමක් පැවතීම මෙම ආරක්ෂක අංශ හා ළමා ආරක්ෂාව අතර පවතින අසම්පූර්ණ රික්තකයට ප්‍රධාන හේතුවක් විය හැකිය.

විශේෂයෙන්ම අඩුවයස් තරුණියන් රැගෙන විවාහ පොරොන්දු මත පලායාම, තමන්ගේ දරුවන්ට විවිධ ආකාරයේ බරපතළ අපයෝජන සිදු කිරීම, ගෘහස්ථ හිංසනය වඩාත් ඉහළ යාම, යහපත් මාතෘ පිතෘ භාවය තුළින් බොහෝ විට දුරස්ථ වීම, බාලවයස්කාර තරුණියන්ව අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන කාර්යයන්ට සම්බන්ධ කරවා ගැනීම යනාදී සිදුවීම් රැසකට සිවිල් සැකකරුවන් මෙන්ම ආරක්ෂක අංශ සැකකරුවන්ද ඉතාමත් සැලකිය යුතු ඉහළ ප්‍රතිශතයකින්  පසුගිය කාලය තුළ වාර්තාවිය.

විශේෂයෙන්ම මෙම සටහන තබන මොහොත වන විටත් එවැනි සිදුවීම් වලට සම්බන්ධ වූ සැකකාර ආරක්ෂක සාමාජිකයන්ගේ සේවය ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කොට, විනය ක්‍රියාමාර්ග රැගෙන ඇති බවට අප හට කිසිදු සැකයක් නොමැත.

එයට හේතුව අප රටේ දැඩි විනයකින් හා හික්මීමකින් යුතු ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් සිටින බවට අප හිස් මුදුනින්ම විශ්වාස කරන නිසාවෙනි.

ඒ කෙසේ නමුදු ළමා ආරක්ෂාව හා ඒ හා සම්බන්ධ නීති මෙන්ම, යහපත් දෙමාපියභාවය වැනි ක්ෂේත්‍ර ඔස්සේ සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ව විධිමත් පුහුණුවක්; දැනුවත්භාවයක් සිදුකළහොත් යම් සැලකිය යුතු මට්ටමකින් හෝ මෙම ළමා හිංසනීය තත්ත්ව රැසක්ම වළක්වාගත හැකි බවට අප විශ්වාස කරමු.

එය එසේ නොකරන තාක්කල් ඉතාමත්ම සුළු විනය විරෝධී පිරිසකගේ ක්‍රියාකලාප හේතුවෙන් රටේ සමස්ත ආරක්ෂක අංශ සාමාජිකයින් අපහසුතාවට හා අපකීර්තියට මෙන්ම, ජනතා අවිශ්වසනීයත්වයට පත්වීම වැළැක්විය නොහැකි කරුණකි.

තත්ත්වය මේ ආකාරයෙන් පැවතීම නිසාම අදවන විට මෙරට ආරක්ෂක අංශ වෙත බැඳෙන තරුණ තරුණියන්ගේ ප්‍රතිශතයද සාපේක්ෂව අවම මට්ටමක පවතින බව ආරක්ෂක අංශ ප්‍රධානීන් වුවද පිළිගන්නා කරුණකි.

මෙරට සියලු ආරක්ෂක අංශවල ආයතනික ව්‍යුහයේ මනෝ විද්‍යා අධ්‍යක්ෂ මණ්ඩලයක් හෝ ඒකකයක් ක්‍රියාත්මක වේ.

දක්ෂ උපදේශන ආරක්ෂක නිලධාරීන්ද එම අංශ තුළ සේවයේ නිරත වේ. එනමුත් බහුල වශයෙන් නිරීක්ෂණය වන්නේ තම සාමාජිකයන්ට මත්ද්‍රව්‍ය නිවාරණය හා ඊට සමගාමී වෙනත් ආකල්ප මූලික කොටගත් උපදේශන ක්‍රමවේදයක් පමණක් ලබාදීමේ සම්ප්‍රදායකි.

එය එතැනින් සීමා නොවී ළමා ආරක්ෂාව පිළිබඳවද, ළමා මනෝ ව්‍යාධිවේදය, යහපත් දෙමාපියභාවය හා ළමා ආරක්ෂක නීතියේ මැදිහත් වීම වැනි කරුණු සම්බන්ධව ද මෙරට සමස්ත ආරක්ෂක අංශ සාමාජිකයන් ව දැනුවත් කරමින් පුහුණු කරවීම ඉතාමත් කාලෝචිතය.

ඔවුන්ගේ මූලික පුහුණු පාඨමාලා තුළට වුවද ළමා ආරක්ෂාව, නීතිය හා ළමා අයිතිවාසිකම් යන කාරණා ඇතුළත් කිරීම සමාජ අවශ්‍යතාවක් බව අප මෙහිදී යෝජනා කරමු.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ද මෙරට සියලු ආරක්ෂක අංශ සමග සම්බන්ධීකරණයෙන් යුතුව යහපත් ප්‍රවේශයක් මේ ක්‍රියාවලිය සඳහා ගොඩනගා ගැනීම ඉතා වැදගත්ය.

විශේෂයෙන්ම, ආරක්ෂක අංශ නියෝජනය කරමින් සේවය කළ නිලධාරියෙකු මෙරට වත්මන් ජනාධිපතිවරයා බවට පත්ව තිබීම මෙම කරුණු සාර්ථක කර ගැනීමට කදිම අවස්ථාවක්ද වනු ඇත.

කෙසේ හෝ වේවා රටේ ළමා ආරක්ෂාවේ සියලුම පැතිකඩ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ආරක්ෂක අංශවල සක්‍රිය දායකත්වය ද ළමා ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරියේදී හෝ සකස් වන්නේ නම් එය මෙරට ළමා ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා තවත් එක් යහපත් ප්‍රවේශයක් වනු නො අනුමානය.

මෙරට ළමයින්ගේ අහිංසක ජීවිත දිනෙන් දිනම සුරක්ෂිත වේවා..!














Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)