රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය




අදාළ රූපය



පරිභෝජනවාදී සමාජ ආර්ථික ක්‍රමයක්‌ තුළ 'රැකියාව' යන්නට නිර්වචන සැපයීමේදී එය පුද්ගලයකු ස්‌වාධීනවීමේ මූලික නිර්ණායකයක්‌ ලෙස අපට හඳුනාගත හැකිය. තමන්ගේ දහඩිය මහන්සියෙන් හරිහම්බ කර, කිසියම් වැටුපක්‌ ලැබ, එයින් පෝෂණයවීම හා තම අවශ්‍යතාවන් සපුරා ගැනීම යන පදනම දමාගැනීම උදෙසා ඕනෑම පුද්ගලයකුට රැකියාවකින් ලැබෙනුයේ සුවිසල් වූ ආලෝකයකි. එමෙන්ම රැකියාවක්‌ යනු එහි වාචාර්ථයෙන්ම තම සුක්‌ෂිත බව උදෙසා සිදුකරනු ලබන ක්‍රියාවකි. එහි කේන්ද්‍රීයව පවතිනුයේ ආර්ථික සුරක්‌ෂිතතාවයි. ඊට පසුගාමීව සමාජයීය සුරක්‌ෂිතතාව, සිය පවුලේ සුරක්‌ෂාව, ස්‌වාධීනත්වය, අවශ්‍යතා හා ජීවිතයේ විවිධ ඉලක්‌ක එකින් එක සාපේක්‍ෂ වශයෙන් පෙළගැසී සිටී.

 උපාධියට ගැළපෙන රැකියාව

 නිදහස්‌ අධ්‍යාපනයත් සමගම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සියලු ජන කොටස්‌වලට විවෘත විය. ඕනෑම දරුවකුට උසස්‌ පෙළ විභාගය ඉහළින් සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබීමට ඉඩහසර උදාවිය. ඒ අනුව ගම් නියම්ගම් මට්‌ටමින් විශ්වවිද්‍යාල වරම් ලබන උපාධි අපේක්‍ෂකයන් පිරිස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. මහපොළ වැනි ශිෂ්‍යත්ව ක්‍රම හරහා එම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවත් සුරක්‌ෂිත කරනු ලැබූ අතර, උපාධිධාරී සියලුම විද්‍යාර්ථින්ට රජය විසින් රැකියා ලබාදීම සඳහා ද සෘජුවම මැදිහත් විය. ඒ සඳහා මෑතකාලීන ඉතිහාසය දක්‌වාම උදාහරණ අපට හමුවේ.

 නමුත් උපාධිධාරීන් ක්‍රම ක්‍රමයෙන් රජයට දරාගත නොහැකි මට්‌ටමට වර්ධනය වීමට පටන් ගැනුණි. බාහිර උපාධි අධ්‍යාපන ක්‍රමය හරහා එය තව තවත් වර්ධනය වූ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවාගනු ලබන සිසුන් පිරිස වැඩි කිරීම මෙන්ම උපාධි පිරිනමන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විශාල වශයෙන් බිහිවීම හේතුවෙන් එම උපාධිධාරීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගියේය. රටේ රැකියා පුරප්පාඩුවලට වඩා බිහිවන උපාධිධාරීන් ප්‍රමාණය වර්ධනය වූ අතර, ඔවුන්ට රැකියා ලබාදීම සඳහා ද තරග විභාග පැවැත්වීමට සිදුවන්නේය. ඒ අනුව මුල් යුගයේදී සියලු උපාධිධාරීන්ට තමන්ගේ උපාධියට අනුව රජයේ විවිධ රැකියා තරග විභාගයකින් තොරව බොහෝවිට හිමි වූ අතර, එම තත්ත්වය අද වන විට තරග විභාගවලින්ද නොනැවතී සම්මුඛ පරීක්‌ෂණ ද කිහිපයක්‌ දක්‌වාම දීර්ඝ කරන්නට සිදුව ඇත. ඒ සියල්ලටම හේතුව වන්නේ අතිශය බහුතරයකින් වඩාත්ම සුදුස්‌සන් සුළුතරයක්‌ තෝරා ගැනීමට සිදුවීමයි. කෙසේ හෝ වේවා මෙම සියලුම උපාධිධාරීන්ට රැකියා සැපයීමේ පුළුල් ජාතික වැඩපිළිවෙළක්‌ පවතින ඕනෑම රජයකට අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

 විශේෂයෙන්ම උපාධිධාරියාගේ උපාධියට ගැළපෙන රැකියාවක්‌ සැමවිටම ලබාදීමට රාජ්‍යයට හැකියාවක්‌ නොමැති වන්නට පිළිවන. මෙම කාරණය මුල් යුගයේදී සාර්ථක අයුරින් ක්‍රියාත්මක වූ නමුත් අද වන විට සිටින බහුතර උපාධිධාරීන් හමුවේ ඒ ඒ ක්‌ෂේත්‍ර ඔස්‌සේ රේ‚ය රැකියා උත්පාදනයක්‌ සැපයීමට රාජ්‍ය අපොහොසත්ව සිටී. උදාහරණයක්‌ ලෙස වෛද්‍ය උපාධිය, ඉංජිනේරු උපාධිය වැනි උපාධිවලට රේ‚ය රැකියා සෘජුවම හිමිවන නමුත් මානව ශාස්‌ත්‍ර, කළමනාකරණ, විද්‍යා වැනි උපාධිධාරීන්ට එසේ රේ‚ය රැකියා ලබාදීමේ ප්‍රබල අපහසුතාවක්‌ පවතී.

 එයට හේතුව වන්නේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බොහෝ උපාධි පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළ අතර සමගාමී බව වර්ධනය කිරීම උදෙසා මෙරට තුළ කිසිදු වැඩපිළිවෙළක්‌ නොමැතිවීමයි. මෙම අර්බුදය මානව ශාස්‌ත්‍ර උපාධිධාරීන් ඉදිරියේ වඩාත් බරපතළ අයුරින් බලපා ඇති අතර, අද වන විට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් සාතිශ්‍ය බහුතරය ද මානව ශාස්‌ත්‍ර විද්‍යාර්ථින්ය. මුල් යුගයේදී මෙම මානව ශාස්‌ත්‍ර උපාධිධාරීන් සියල්ලකටම පාහේ සෘජුවම රජයේ ගුරු පත්වීම් හිමිවූ අතර, එය ක්‍රම ක්‍රමයෙන් පසුකාලීනව සංවර්ධන නිලධාරීන් දක්‌වාම විකාශනය වන්නට විය. එනම් ඕනෑම උපාධිධාරියකුට රජය විසින් ලබාදෙනු ලබන සෘජු රැකියා අවස්‌ථාව හෙවත් උපාධිධාරීන් උදෙසා පවතින වත්මන් ජාතික රැකියා අවස්‌ථාව වන්නේ 'සංවර්ධන නිලධාරී (Development Officers) පත්වීම්ය. වත්මන් පාලන තන්ත්‍රය විසින් ද පසුගිය මාස කිහිපය තුළ මෙම පත්වීම් ලබාදීම සඳහා ජාතික වශයෙන් අයෑදුම්පත් කැඳවා තිබිණි.

මානව ශාස්‌ත්‍ර උපාධිධාරියාගේ ඉරණම

 ශාස්‌ත්‍රීය අධ්‍යාපනය යනු වෘත්තියාභිමුඛ නොවන අධ්‍යාපන ක්‍රමයයි. රේ‚ය රැකියා ඉලක්‌කගත අධ්‍යාපනයට වඩා මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය තුළ පවතිනුයේ වක්‍රාකාර රැකියා අවස්‌ථාය. උදාහරණයක්‌ ලෙස සිංහල විශේෂවේදී උපාධිධාරියකුට සෘජුවම සිංහල ගුරු පත්වීමක්‌ හෝ සිංහල විෂය අධ්‍යක්‌ෂවරයකු දක්‌වා හෝ ඉන් ඉහළට ගමන් කිරීම සඳහා පැහැදිලි එමෙන්ම අනිවාර්ය ගමන් පථයක්‌ නොමැත. දේශපාලන විද්‍යාව උපාධිධාරීන්ට සිය උපාධියෙන් පසුව මුළුමනින්ම දේශපාලනය හැදැරීමේ විධිමත් ක්‍රමවේදයෙන් පරිබාහිරවීමට සිදුවේ. දර්ශනය, ආගම්, ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජවිද්‍යාව හා භූ විද්‍යාව යනාදී මෙකී නොකී බොහොමයක්‌ විෂයන් සඳහා ද උරුම වී ඇත්තේ මෙම ඉරණමමය. විද්‍යාර්ථියකු වශයෙන් තමන් විසින් හැදැරූ කිසිදු න්‍යායක්‌, කිසිදු පරීක්‍ෂණයක්‌ හෝ කිසිදු නිබන්ධනයකින් ප්‍රයෝජනයක්‌ ගැනීමට සිය රැකියාවේදී ඔවුන්ට බොහෝවිට නොහැකි වේ.

 මේ සියල්ල ශාස්‌ත්‍රීය අධ්‍යාපනය වන බැව් සත්‍යයකි. නමුත් අප මේ සඳහන් කරනුයේ ශාස්‌ත්‍රීය අධ්‍යාපනය, රැකියා වෙළෙඳපොළෙන් දුරස්‌ථව හුදෙකලාවීම හේතුවෙන් අද වන විට ප්‍රශ්න රැසක්‌ම නිර්මාණය වී ඇති බවයි. බොහෝ බටහිර රටවල ශාස්‌ත්‍රීය අධ්‍යාපනය අනෙකුත් රැකියාභිමුඛ අධ්‍යාපනය සමඟ සම්මිශ්‍රණය කොට තිබේ. එනම් වෛද්‍ය විද්‍යාව හදාරන්නකු අනිවාර්යයෙන්ම සාහිත්‍ය, ඉතිහාසය, දර්ශනය වැනි විෂයන් හදාරා සිය ශාස්‌ත්‍රීය දැනුම ද ප්‍රගුණ කළ යුතුය. එතුළින් ඔවුහු ශාස්‌ත්‍රීය දැනුම සියලුම විද්‍යාර්ථීන්ට ලබාදී ශාස්‌ත්‍රීය අධ්‍යාපනය ද සුරක්‌ෂිත කර ගනිති.

 නමුත් අප රටේ මෙම ශාස්‌ත්‍රීය අධ්‍යාපනය ලබාදීම සෘජුවම සිදුවුවද එතුළින් උපාධියක්‌ ලබන උපාධිධාරියා අවසානයේදී ශාස්‌ත්‍රීය අධ්‍යාපනය සුරක්‌ෂිත කරනු වෙනුවට සමස්‌ත අධ්‍යාපන ක්‍රමයටම ශාප කරන්නකු බවට පත්වේ. 'උපාධියක්‌ කරාට වඩා හොඳයි කුඹුරක්‌ කොටන් හරකෙක්‌ බලා ගත්තනම්' ලෙස කියමින් අපේක්‌ෂාභංගත්ව මානසිකත්වයට වැටේ. එමෙන්ම විශ්වවිද්‍යාලවල සහකාර කථිකාචාර්යවරු ලෙස සේවය කළ පිරිස්‌ ද තම ගිවිසුම්ගත කාලය හමාර වූ විට බොහෝ අවස්‌ථාවලදී රැකියා විරහිත උපාධිධාරී පෝළිමටම එක්‌කාසුවීම කෙතරම් නම් ඛේදජනකද? එබැවින් මෙම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස්‌විය යුතුය. ශාස්‌ත්‍රීය අධ්‍යාපනයට ගැළපෙන රැකියා අවස්‌ථා රට තුළ නිර්මාණය කළ යුතුය. නොඑසේනම් විශ්වවිද්‍යාල තුළ දැනට පවතින බොහෝ පාඨමාලා රැකියා වෙළෙඳපොළට සරිලන පරිදි නවීකරණය කළ යුතුය. සිංහල විශේෂවේදී උපාධිය, සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය යනාදී මේ සියලුම විෂයයන් ජාතික හා ජාත්‍යන්තර නිර්ණායක, සංකල්ප ඔස්‌සේ දෙස්‌ විදෙස්‌ භාෂා මාධ්‍ය අනුසාරයෙන් ඉගැන්විය යුතුය. එමෙන්ම මේවා සඳහා තොරතුරු තාක්‌ෂණය ද ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක්‌ සැකසිය යුතුය. එවිට ශාස්‌ත්‍රීය විෂයයන් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ රැකියා අවස්‌ථා ද අප වෙත විවෘත වනු ඇත.

 බුද්ධි ගලනය

 වසර 17 ක්‌ හෝ 18 ක්‌ මෙරට නිදහස්‌ අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා විද්‍යාර්ථියා අවසානයේ සිය උපාධියට සරිලන රැකියාවක්‌ නොවන තැන මෙරට හැරයති. එය බුද්ධි ගලනය ලෙසින් හැඳින්විය හැකි අතර, එයට මූලික හේතුව වන්නේද තාරුණ්‍යය තුළ ගොඩනැගෙන මෙම අසහනකාරී අපේක්‌ෂාභංගත්වයයි. පසුගිය දිනෙක ජනප්‍රිය පුවත්පතක්‌ විසින් පෙන්වා දෙනු ලැබුවේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක්‌ සෞඛ්‍ය අංශයේ කම්කරු රැකියාවේ යෙදී සිටින බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සඳහා කඩිනම් පිළිතුරක්‌ ලබාදෙමින් දන්වා තිබුණේ ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ව ස්‌ථිර කොට උපාධියට සරිලන රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසයි. නමුත් එහි අවසන් විසඳුම කුමක්‌ වූවේ දැයි අප නොදනිමු. එවැනිම උපාධිධාරීන් අතිශය බහුතරයක්‌ රට පුරා තැන් තැන්වල කොන්ක්‍රීට්‌ අනති. අත් උදව්කරුවන් ලෙස වැඩ කරති. විවිධ සමීක්‌ෂණ වැඩසටහන්වල ක්‌ෂේත්‍ර සහයකයන් ලෙස කටයුතු කරති. පෞද්ගලික අංශය විසින් ද මෙම ශාස්‌ත්‍රීය උපාධිධාරියාව ප්‍රතික්‌ෂේප කරන අතර, එයට එක්‌ හේතුවක්‌ වන්නේ ඔවුන් නිසි කල වයස ඉක්‌මවා සිටීමයි. එමෙන්ම කිසියම් දිනෙක රජයේ රැකියාවක්‌ ලද සැණින් විශ්‍රාම වැටුප අපේක්‌ෂාවෙන් තම ආයතනවලින් සමුගැනීම නිසාද පෞද්ගලික අංශය මෙම උපාධිධාරීන්ට රැකියා සැපයීමේදී බොහෝ කල්පනාකාරී වේ.

දේශපාලුවන්ට කඩේ යැම

 තම උපාධියේ කාලය සම්පූර්ණ වන දිනය (Effective Date) දැනගත් සැණින් අද විද්‍යාර්ථින් විසින් සිදුකළ යුතු ප්‍රමුඛ කාර්යයක්‌ වෙයි. එනම් තම ප්‍රදේශයේ, තම ආසනයේ දේශපාලනඥයන්ගේ ලැයිස්‌තුවලට නම ඇතුළත් කිරීම හා අංකයක්‌ වෙන්කර ගැනීමයි. ඒ සඳහා පළාත් සභා කාර්යාල තුළ ද නාම ලේඛන ලැයිස්‌තුවක්‌ පවත්වාගෙන යයි. මේවා නිල ලත් ලැයිස්‌තු ද නිල නොලත් ලැයිස්‌තු ද කියා කිසිදු කිසිවෙකු දන්නේ නැත. විටින් විට ගොස්‌ රස්‌තියාදු වී ඒ ඒ දේශපාලනඥයන්ගේ ලැයිස්‌තුවලට තම නම ගම විස්‌තර ඇතුළත් කිරීමේ ස්‌වයං පෙළඹවීමක්‌ මෙම සමාජ, ආර්ථික, දේශපාලන රටාව විසින් අසරණ උපාධිධාරීන් වෙත හුරු කර තිබේ.

 රැකියා සම්බන්ධව කතා කරන මෙවන් අවස්‌ථාවක බිල්ගේට්‌ස්‌ලා, අයින්ස්‌ටයින්ලා, ස්‌ටීව් ජොබ්ස්‌ලා, හෙන්රි පෝඩ්ලා හෝ ජැක්‌මා වැනි පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීම ප්‍රායෝගික නොවේ. මන්ද යත් අප විසින් මේ පෙන්වා දෙනුයේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ උපාධිධාරී බහුතර තරුණ ප්‍රජාව තුළ දැවෙන අසහනකාරී පොදු ප්‍රශ්නය පිළිබඳවයි. එබැවින් මේ සඳහා ොසෘජු වගකීම් විශ්වවිද්‍යාල බලධාරීන්, විෂයමාලා සම්පාදකයන් හා අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ අනෙකුත් වගකිව යුතු සියලු දෙනා විසින් දැරිය යුතුය. විශේෂයෙන්ම අද වන විට මෙරට බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ශාස්‌ත්‍රීය අධ්‍යාපන මූලධර්ම යාවත්කාලීන නොවේ. යල් පැනගිය ගතානුගතික අධ්‍යාපන ක්‍රමවේද, මූලාශ්‍ර හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම වෙනුවට පුළුල් දැක්‌මක්‌ සහිතව එම විෂය පාඨමාලා නවීකරණය කරන්නේනම් ඒ සඳහා කාලය එළැඹ දැනට බොහෝ කල් ගතවීද හමාරය.

 කෙසේ නමුත් රට තුළ මේ වන විට පවතින රැකියා විරහිත උපාධිධාරියාගේ ප්‍රශ්නය දෙස පක්‌ෂ විපක්‌ෂ භේදයකින් තොරව වගකිවයුතු සැවොම සංවේදී විය යුතුය. මේ ගෙවී යන්නේ ඔවුන්ගේ යෞවනයයි. මේ විඳවනුයේ ඔවුන්ගේ අනාගතයයි. එමෙන්ම මේ ළතැවෙනුයේ රටේ උගත් - බුද්ධිමත් තාරුණ්‍යයයි. නිදහස්‌ අධ්‍යාපනය පහුරක්‌ කරගනිමින් අධ්‍යාපනය ලැබ, අනතුරුව ඒ පිහිට ලබාගත් පහුරටම සාප කරන්නට තරම් සෘණාත්මක මානසික ආකෘතියක්‌ සහිත අසහනකාරී පුද්ගලයකු සමාජයට දායාද කිරීමෙන් ඵලක්‌ නැත. කන්නන්ගර දර්ශනය වුවද කිසිදා එවැන්නක්‌ බලාපොරොත්තු නොවන්නට ඇත.

 එසේ හෙයින් විධිමත් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළක්‌ ඔස්‌සේ රටෙහි සමස්‌ත උපාධිධාරීන් වෙතම අගයක්‌, වටිනාකමක්‌ හිමිවන අයුරින් ජාතික රැකියා සැපයීමේ ක්‍රියාවලියක්‌ අඛණ්‌ඩව පවත්වාගෙන යැමේ අනිවාර්ය අවශ්‍යතාවක්‌ මුළු මහත් සමාජය විසින්ම බලාපොරොත්තු වේ. එසේත් නොමැතිනම් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට දැනට අපේක්‍ෂිතව සිටින වැඩසටහන් හෝ කඩිනම්ව, විධිමත්ව හා සමානාත්මතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකි විය යුතුය. එසේත් නොවන්නේනම් මෙරට නිදහස්‌ අධ්‍යාපනයෙන් ඵල නෙළාගත් තාරුණ්‍යයේ අපේක්‌ෂාභංග අසහනකාරීත්වයට කිසිදාක සහනයක්‌ නම් නොලැබෙනු ඇත. එබැවින් නිදහස්‌ අධ්‍යාපනයේ නාමයෙන් ඔවුනට විරැකියාවේ වේදනාවෙන් තව දුරටත් විඳවන්නට ඉඩ නොතබමු.

(මෙම ලිපිය දිවයින පුවත්පත, වැඩබිම වෙබ් අඩවිය, බූන්දි වෙබ් අඩවිය, සිංහල ලංකා මැගසින් හා ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය යන මාධ්‍ය තුළ පළවිය)




www.boondi.lk/article.php?ArtID=5250

https://www.slguardian.org/si/රැකියා-විරහිත-උපාධිධාරිය/ 


කසුන් සී. තිලකරත්න

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)