සම රිසිභාවය වරදක් වූ සමාජයක දයාබර මිනිසුනේ...

සංස්කෘතියේ නාමයෙන් විදවීමට හෝ මියයාමට හෝ නොව, ජීවත්වීමට හා විදීමට

'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන සහ භාවිතාවන් පවතින සමාජයක් ශිෂ්ටසම්පන්න සමාජයක් නොවේ.'
  
මහාචාර්ය අවිශායි මාර්ගලික්, හීබෘ විශ්වවිද්‍යාලය 
--------------------------------------------------------------------------------
'මේ තුන් ලෙව් තුළ සුපේක්ෂල ශික්ෂාකාමී සිංහල බෙෘද්ධ රටක් වෙත්. එහි ජනී ජනයා රහසින්වත් පව් නොකරති. පංචශීලය නම් වූ මූලික ශීලය දිවිහිමියෙන් පිළිපදින ඔවූහු අන්‍යන්ට ගරු කරති. තම භාර්යාව, ස්වාමි පුරැෂයා සමග පමණක් ලිංගිකව එකතුවන ඔවූහු එයද සිදුකරනුයේ ස්වභාවධර්මයට එකගවය. එනිසා එම රට තුළ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කියා දෙයක් නොමැත. ඉතිහාසය පුරාවට සිදු වීද නැත. ලිංගිකත්වය සලකනුයේ පූජනීය දෙයක් ලෙසින් වන අතර, ගණිකා නිවාස, සම්භාහන ශාලා, රාත්‍රී සමාජ ශාලා යනාදී කිසිවක් එහි නැත. කොටින්ම ඒවා ගැන දන්නේද නැත. එකිනෙකා දෙස හරි ආදරයෙන් බලා ගරු කරන ඔවූහු සාමයෙන් සමගියෙන් යෙහෙන් ජීවිකාව ගත කරති. එබැවින් ඒ රටට ලෝකෙන් උතුම් රට යැයි කියති. ශ්‍රේෂ්ඨ යැයි, ප්‍රෙෘඪ යැයි කියති. එනිසා එය හරි අගේ ඇති අපූරු රටකි'  

මේ රොබට් නොක්ස් එදා හෙළදිව තුළ තැබූ සටහනක් නොවේ. ඩේව් දුටු ලංකාව තුළ සටහන් වන්නක්ද නොවේ. මේ නම් ළමා වියේ සිට ලංකාව ගැන රචනා ලියන්නට, කතා පවත්වන්නට අපට හුරු වූ, අපට හුරු කළ රටාවයි. අප වනපොත් කළ සංස්කෘතිකමය කතාවයි. 

මෙම ලිපිය ලිවීමට අපට නිමිත්ත සැපයූවේ පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ කිසිදු සංශෝධනයකින් තොරව ප්‍රතික්ෂේප වූ සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව හා ඊට සමගාමීව ගොඩනැගී තිබෙන සමාජ කතිකාවයි. එය වරදක් ලෙස පිළිගන්නා අප රටේ සංස්කෘතිය එක හෙළාම එවැනි සංශෝධන ප්‍රත්ක්ෂේප කරති. නමුත් මෙවැනි සංසිද්ධීන් හුදෙක් පයට පාගා ඉරා දැමූ පමණින් මිනිසුන්ගේ සංවේදනා යට ගැසිය හැකිද? සංවේදනා සාපේක්ෂ වන විට බහුතර කැමැත්ත මත සුළුතරයේ සංවේදනා විනාශකර දැමීම සාධාරණද?

අනන්‍ය දේශීය සංස්කෘතියක් ඇතැයි කියන ශ්‍රී ලංකාව බටහිරකරණය නොවිය යුතුය. බටහිරින් ගෙනා විවිධ යෝජනා, විවිධ සංකල්ප අප රටට ගැලපෙන්නනේ නැත. අද වන විට ආර්ජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, එන්ගලන්තය, නවසීලන්තය, ප්‍රංසය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව හා ඇමෙරිකාව යනාදී රටවල් බොහොමයක සමලිංගිකත්වය නීතිමය වශයෙන් පිළිගන්නා තත්වයට පැමිණ තිබෙන නමුත්, ශ්‍රී ලංකාවට මෙවැනි තත්ව කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එයට හේතුව වන්නේ අප රට පිවිතුරු බෙෘද්ධ සංසංකෘතියකින් අනූන රටක් වන නිසාය. යනුවෙන් අප කොතරම් කෙසේ කීවද, අප රට තුළ සමලිංගිකත්වය කියා දෙයක් ඇත්තේම නැතිද? මේ පිළිබද නියම තතු, සමාජය දෙස සංවේදී ඕනෑම අයෙකු අග මුල ඇතිව දනී. එම හැගීම් දැනීම් ඇති මිනිසුන් මෙරට තුළ ඇත්තේම නැතිද? සිටිනවානම් ඔවුන් තමන්ගේ ආදරය, කැමැත්ත හා ආකල්ප ජීවත් කළ යුතු වන්නේ නැතිද? 

බහුතර පිරිසකගේ හේතු විරහිත වර්ගකිරීමක් හා නීති පැනවීමක් හේතුවෙන් ඔවූහූ මියයා යුතුද? මිනිසා විසින් මිනිසාව ජීවත් කරවීමට, මිනිසාගේම පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරගන්නා ලද සංස්කෘතිය තුළින් තවත් මිනිසුන් පිරිසක් ආන්තිකකරණයට ලක්කළ යුතුද? අවඥාවට ලක්කළ යුතුද? ශිෂ්ට සම්පන්න සමාජයක් යනු එයද? 

සමලිංගිකත්ව වැරදිය, එය පිළිකුල්ය යන මතය ශ්‍රී ලංකා සමාජය තුළ ස්වාභාවිකකරණයට ලක්වන්නේ කවදාද? කෙසේද? එය වරදක් වන්නේනම් නිවැරදි දේ කුමක්ද? පුද්ගලයාගේ අතිශය පෙෘද්ගලික ප්‍රධානතම සංවේදනාව පවා තීරණය කළ යුත්තේ සංස්කෘතිකමය අවකාශය තුළින්ම පමණද? එසේ නොමැතිව පුද්ගල සංවේදනාවන් අනුව කිසිවෙකුටවත් කරදරයක් නොමැතිව තමාගේ පෙෘද්ගලික අවශ්‍යතාවන් සපුරාගන්නටවත් සර්ව සාධාරණ ශිෂ්ට සම්පන්නභාවයක් රටකට තිබිය යුතු නොවන්නේද? ඊශ්‍රයාලයේ හීබෘෘ විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබද මහාචාර්ය අවිශායි මාර්ගලික් (Avishai Margalit) ශිෂ්ට සම්පන්න සමාජය (The Decent Society) නමැති සිය කෘතියේදී ශිෂ්ට සම්පන්න හා ශීලාචාර සමාජය පිළිබදව මෙවැනි නිර්වචනයක යෙදෙයි. 

'ශීලාචාර සමාජයක් යනු, එහි සාමාජිකයන් එකිනෙකා අවමානයට පත් නොකරන සමාජයකි. ශිෂ්ට සම්පන්න සමාජයක් යනු, එහි සමාජ ආයතන විසින් මනුෂ්‍යයන් අවමානයට භාජනය නොකරන සමාජයකි.'

එසේ බැලූ කල ශ්‍රී ලංකාව, ශිෂ්ට සම්පන්න හෝ ශීලාචාරවත් සමාජයක්ද? ආගමික වශයෙන් අප විසින් කුමන මතිමතාන්තර දැරුවද, සිද්ධස්ථාන කොතරම් ඉදිවී තිබුණද, සැදැහැවතුන් පන්සල්, පල්ලි, කොවිල්වල පිරී ඉතිරී සිටියද, ශිෂ්ට යැයි කිව හැක්කේ කුමන කරුණු පදනම් කරගෙනද? අපේ සමාජය විසින් මේ සිදුකරනුයේ සියල්ල දැනගෙන, නොදන්නා ගානට කටමැත දෙඩවීම පමණක් නොවේද? 

බුදු දහම යනු අන්තවාදී දහමක් නොවේ. එය යා යුතු මග හෙලිකළ දහමක් විනා මග අවුරා නීති පැනවූ දහමක් නොවේ. ලාංකේය බහුතර සමාජ විඥානය තුළ සමලිංගිකත්වය යනු වරදක් ලෙස නිර්වචනය කිරීම අරඹනුයේ බුදු දහමින් ආභාෂය ලද බෙෘද්ධ සංස්කෘතියෙන් නොව. බටහිර යටත්විජතවාදයෙන් පසුව මෙරට තුළ ගොඩනැගුණු නීති පද්ධතියෙනි. ශ්‍රී ලංකාව යනු පිවිතුරු සිංහල සභ්‍යත්වයක් සහිත රටක් ලෙස අප කොතරම් හදුනාගන්නට උත්සාහ කළද, අප රට තුළ ක්‍රියාත්මක වන්නේ විවිධ සංස්කෘති වෙතින් පෝෂණය වූ නීති පද්ධතියකි. ඉංග්‍රීසි නීතිය, රෝමානු නීතිය, කන්ද උඩරට නීතිය, තෙසවලාමෙයි නීතිය හා මුස්ලිම් නීතිය වශයෙන් වූ නීති රැසකින් යුතු පාලනයක් අප රට තුළ ක්‍රියාත්මක වේ. කොතරම් අධිරාජ්‍යවාදයට විරුද්ධ යැයි කීවද, බටහිරකරණය නොවන බව කීවද අප පාලනය වන්නේ අධිරාජ්‍යවාදීන් විසින් හදුන්වා දුන් නීති පද්ධතිය තුළින්මය.

ඒ අනුව, අප රට තුළ අද වන විට ක්‍රියාත්මක වන්නේ වර්ෂ 1883 දී ඉංග්‍රීසි පාලනය යටතේ හදුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය වන අතර, එය සම්පූර්ණයෙන්ම පදනම්ව ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වූ වික්ටෝරියානු සදාචාරවාදී අපරාධ නීති මතයි. නමුත් වර්ෂ 1950 දශකයේ අග භාගය පමණ වන විට බ්‍රිතාන්‍යයන් සමලිංගිකත්වය පිළිබදව සිතන ආකාරය ඉතාමත් ලිහිල් වන්නට විය. සරලවම කිවහොත් බ්‍රිතාන්‍යයන් අද වන විට වික්ටෝරියානු සදාචාරය සහමුලින්ම පාහේ තුරන් කොට හමාරය.

අප නිරන්තරයෙන්ම පුරුදු පුහුණු වී සිටිනුයේ පෙෘද්ගලිකව අප අකමැති, අපට අප්‍රසන්න වන යම් කිසි ප්‍රපංචයක් පිළිබදව ආධානග්‍රාහී ලෙස ප්‍රතික්ෂේප කිරීමට පමණි. එසේ නොමැතිව අප අකමැති වුවද තවත් අයෙකු කැමති වන කිසියම් දෙයක් පිළිබදව සහෘදාත්මක අයුරින් අපගේ පරිකල්පනය මෙහෙයවීමේ විඥානයක් අප සමාජයේ සාතිශය බහුතරය තුළ තවම වර්ධනය වී නොමැත. සමලිංගිකත්වය යනු සැබැවින්ම ලෝකයේ සම්මත වූ ලිංගික දිශානතියකි. තමන්ට සමාන වූ ලිංගික අවයව ඇති දෙදෙනෙකු අතර ස්ව කැමැත්ත මත පමණක් ඇතිවන ලිංගික ආකර්ෂණය සරලවම එලෙස හැදින්වේ.

වෛද්‍ය විද්‍යානුකූලව වුවද සමලිංගිකත්වය පිළිගනුයේ විකෘති ලිංගිකාශාවක් ලෙස නොව, සාමාන්‍ය ලිංගික දිශානතියක් ලෙසිනි. ඒ අනුව මෙය රෝගයක් හෝ මනෝවිද්‍යා උපදේශන ලබාගතයුතු තත්වයක් නොවේ. සමාජය නමැති සංකල්පය තුළ මූලිකම සංවේදනාව වන්නේ ආදරය සහ ලිංගිකත්වය වන අතර, එය අතිශය සාපේක්ෂ කාරණාවකි. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය යනු ප්‍රකෘතිය ලෙස පිළිගන්නා, ස්වාභාවිකකරණය වූ සමාජයකට, එයට ප්‍රතිවිරුද්ධව සිදුවන සියල්ල විකෘතියක් ලෙස පෙනී යා හැකිය. 

සමලිංගික සම්බන්ධතා සහ සමලිංගික විවාහයන් යනු එකම කාරණාවක් නොවේ. ලොව බොහෝ රටවල් තුළ අඩු වැඩි වශයෙන් සමලිංගිකත්වය පිළිගනු ලැබූවත් එම විවාහයන් සදහා නීතිමය අවසර ලබාදී නොමැත. මෙම කාරණාව පිටුපස ඇත්තේ අපට හැගෙන අයුරින් වෙනත් කාරණාවකි. එනම් විරුද්ධ ලිංගිකත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ගැබ්ගැනීමයි. එහිදී බිහිවන තුන්වන ජීවියා වෙනුවෙන් නීතිමය රෙගුලාසි තිබිය යුතුය. භාරකරුවෙකු, නඩත්තු කරුවෙකු සිටිය යුතුය. විවාහය යන නීතිමය කාරණාව එහිදී ප්‍රමුඛත්වයට පැමිණේ. නමුත් සමලිංගිකත්වය තුළින් එසේ තුන්වන ජීවියෙකුගේ පිළිසිද ගැනීම, වැනි සිදුවීමක් සිදුනොවන බැවින් විවාහය එහිදී ප්‍රධාන බලපෑමක් සිදුකරන්නේ නැත. 

ඒ අනුව, ශ්‍රි ලංකාව තුළද සමලිංගිකත්වය සමාජගතවී තිබුණද එය පවතිනුයේ ආන්තිකකරණයට ලක්වය. සමාජයේ කේන්ද්‍රයට වඩාත් දූරස්ථවය. අප රට තුළ කලා නිර්මාණ ඔස්සේ පවා මෙම අඩවිය ස්පර්ශ කරනුයේ කලාතුරකින්ය. වර්ෂ 1982 දී ප්‍රථම වතාවට සිනමා නිර්මාණයක් තුළින් සමලිංගිකත්වය පිළිබදව කරළියට ගෙන එන්නේ 'මලට නොඑන බඹරු' සිනමාපටය හරහාය. ඉන්පසුව 'මමත් ගැහැනියක්', 'තනි තටුවෙන් පියාඹන්න' සහ පසුගිය වසරේදී තිරගත වූ 'ප්‍රැන්ජිපැණි' වැනි සිනමාපට ඔස්සේ මෙම ආස්ථානය පිළිබදව කතිකාවක් ගොඩනැගීමට උත්සාහ කළද මෙම නිර්මාණ සමාජයේ පරිධියෙනුත් බොහෝ ඈතට විතැන්වීමට විශාල කාලයක් ගතවූයේ නැත. ප්‍රැන්ජිපැණි සිනමා පටය මහනුවර වෙම්බ්ලි සිනමා ශාලාවේදී නරඹමින් සිටි මාත් මාගේ බිරිදත්, විවේක කාලය උදාවන විට දුටුවේ ප්‍රේක්ෂකාගාරය තුළ අප දෙදෙනා පමණක් සිටින බවයි. මුල් දර්ශන වාරය තුළද හු හඩවල්, විසිල් ගැසීම් කඩින් කඩ මතු වූ අතර, අප සිටින සංස්කෘතිකමය ප්‍රජාතන්ත්‍රවාදී ආස්ථානයේ දුගී දුප්පත්භාවය පිළිබදව අප සිටියේ ඉමහත් කළකිරීමෙනි. කලාව බිහි වුවද එය වටහා ගැනීමේ මානසික සූදානමක් අපේ රසඥතාව තුළට මේ සංස්කෘතිය විසින් උගන්වා නැති එක විශාල අඩුවක් බව මට හැගී ගියේ එම අවස්ථාවේදීය. 

සමාජය තුළ අතිශය සංවේදී සංවේදනා පිළිබදව ප්‍රසිද්ධියේ කතාකරන්නට බොහෝදෙනා මැලි වෙති. එයට ප්‍රධාන හේත්‍රව වන්නේ කතාකරන පුද්ගලයාටද කාඩ් ගසා ඔහුගේ හෝ ඇයගේ පෙෘද්ගලිකත්වය පිළිබදවද ප්‍රශ්න කරමින් දෙන්නම් බැටේ විචාර කලාවක් ලංකාව තුළ තවටත් ක්‍රියාත්මක වීමයි. පාර්ලිමේන්තුවේදීද සිදුවන්නේ එවැනි සිදුවීමකි. මෙම සංශෝධන පිළිබදව කතා කළ සියලුදෙනා වෙත අද වන විට සමාජය විසින් උපහාසයේ හංවඩුව ගසා හමාරය. ලොල්ලන්, එස්එල්එස් කාරයන්, පොන්නයින්, ගල් කාරයින් සහ කොල්ලොකාරයින් යනාදී වශයෙන් සමාජයෙන් කොන් කිරීමේ වාග්කෝෂයක් අප සංස්කෘතිය සතුය. ඒ සියලුම වදන් භාවිතය තුළින් සිදුකරනුයේ අනෙකාව සමාජයෙන් කොන් කිරීමයි. ගත රිදවා දෙන දඩුවමකට වඩා මෙවැනි මානසික රිදවීම් තුළින් ඇති කළ හැකි රිදවීම ඉතාමත් කෘෘරය. 

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය පවතිනුයේ ඉතාමත් පසුගාමී තත්වයකය. ලෝක දත්ත වාර්තාවලට අනුව පස්වන වතාවටත් ලිංගිකත්වය පිළිබදව ගූගල් සෙවුම් යන්ත්‍රෙන් ගවේෂණය කළ බහුතර පිරිස ශ්‍රී ලාංකිකයන්ය. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ දිනෙන් දින වර්ධනය වනවා හැරෙන්නට අවමවීමක් දක්නට නැත. දික්කසාදවීම්, ගබ්සා කිරීම් වැනි අංශවලින්ද ශීඝ්‍ර වර්ධනයක් පවතී. මේ සියලුම සමාජමය සංසිද්ධීන්වල මූල බීජය වන්නේ ලිංගිකත්වයයි. ඒ පිළිබදව නිසි අවබෝධයකින් තොර වීමයි. විෂම ලිංගිකත්වය පිළිගන්නා බහුතර සමාජ ආස්ථානය තුළ උද්ගත වූ සමාජ ගැටලු රැසක් එහෙමපිටින්ම තිබියදී සමලිංගිකත්වය වැනි කාරණාවක් වෙත කැට මුගුරු අමෝරා පහරදීමට, සමාජය පෙළගැසී සිටීම උපහාසයට කරුණක් නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව වඩාත් සමීපව කතාකරන මෙවැනි යුගයක, සුළුතරයකගේ ලිංගික අයිතීන් අවඥාවෙන් බැහැර කරමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් පාගා දමන්නට තරම් අප කටයුතු කරන්නේනම් රටක් වශයෙන් අපට ඇති ශිෂ්ටත්වය කුමක්ද? පුද්ගලයා යනු සාපේක්ෂ සංවේදනාවන්ගෙන් සැදුම්ලත් අයෙකි. කායිකව හා මානසික වශයෙන් ඔවුනොවුන් අතර ඇත්තේ එකිනෙකාට ආවේණික වූ සංවේදනාවන්ය. ඒ අනුව සමාජයේ පුරවැසියන් වශයෙන් අපට එහි ජීවත්වන සියලුදෙනාගේ සුඛවිහරණය වෙනුවෙන් විචක්ෂණශීලී සහෘදාත්මක සංස්කෘතියක් නිර්මාණය කළ හැකිනම්, මතු දිනෙක එම සමාජය ඉතාමත් සුන්දර වනු ඇත. මෙලොවට බිහි වූ සියලුම සත්වයින්ට පය ගසා ජීවත්විය හැකි, කිසිවෙකුටත් කරදරයක් නොවී ඔවුනොවුගේ ස්වාධීනත්වය හා අවශ්‍යතාව සපුරා ගත හැකි සුභවාදී පරිසරයක් ගොඩනැගිය හැක්කේ, සමාජයට වෛර කොට පිළිකුල් කිරීමෙන් හෝ අනුකම්පා කිරීමෙන් හෝ නොව, අපි අපිටම ආදරය කිරීමෙන්ම පමණි.

කසුන් සී තිලකරත්න

කියවා බලන්නට තවත් ලිපි පෙළක් පහතින්....



Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)