ශ්‍රී ලාංකේය සමාජය තුළ 'ළමයා' සුරක්‍ෂිතද?






අදාළ රූපය



ළමයා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් කතිකාවක්‌ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම සේයා සඳෙව්මිගේ ඝාතනයත් සමඟ ජනවිඥනය, අවිඥනිකවම නැඟී සිටින්නට විය. කිසිදු දේශපාලනඥයෙකුගේ, කිසිදු සංවිධානයක හෝ කිසිදු ලාභ ප්‍රයෝජනයක්‌ රහිතවම ජනයා වීථි පුරා රැස්‌වූහ. කලාතුරකින් දැකිය හැකි මෙම සමාජ නැගිටීම අතිශය ප්‍රශංසනීය තත්ත්වයකි. අපි වෙනුවෙන් නැගිටිය යුත්තේ අපිමය යන පණිවුඩය සමස්‌ත සමාජය වෙතම එමගින් ලැබුණි. නමුත් එම ඝාතනයෙන් නොනැවතුණු අපයෝජන රකුසා විසින් දිගින් දිගටම කුඩා දියණිවරුන්, මිනිපිරියන්, නැගණියන් සිය ගොදුරට ගනිමින් සිටී. මෙවැනි සිදුවීම් මගින් මෙරට සමාජය තුළ 'ළමයා' (විශේෂයෙන්ම කුඩා ගැහැනු දරුවා) අනාරක්‍ෂිත බව යළි යළිත් අපට සිහිපත් කර දෙනු ලබයි.


කුඩා දරුවන් විවිධ අපයෝජන හා හිංසාවන්ට ලක්‌වීමට ප්‍රධාන හේතු ලෙස අපට පෙනී යන කරුණු කිහිපයක්‌ම වෙයි. ප්‍රධානතම කරුණ වන්නේ දරුවා සහ දෙමාපියන් අතර පවතින සම්බන්ධතාව ගිලිහී යාමයි. තරගකාරී ආර්ථික සමාජ ක්‍රමය සමඟ පොරබදමින් හැල්මේ දුවන දෙමාපියන්ට දරුවා යනු තම ජීවිතයේ තවත් එක්‌ සාධකයක්‌ පමණක්‌ බවට පත්වී තිබේ. ඕනෑම යුවලක්‌ සෑම ලිංගික එක්‌වීමකදීම දරුවෙකු බලාපොරොත්තු නොවේ. ලිංගික අවශ්‍යතාව හා දරුවෙකුගේ අවශ්‍යතාව යනු එකක්‌ නොව දෙකකි. නමුත් මේ දෙක එකක්‌ බවට පත්වූ විට විශාල ප්‍රශ්න රැසකට මුහුණදීමට දෙමාපියන්ට සිදුවේ. තමන්ට ප්‍රමාණවත් දරුවන් සිටියදී තවත් දරුවෙකු හදා වඩා ගැනීමට වත් පොහොසත්කමක්‌ නොතිබියදී බලාපොරොත්තු රහිත අවස්‌ථාවක දරුවෙකු පැමිණීම දෙමාපියන්ගේ ජීවන රටාව දෙදරා යාමකි. එවිට ගබ්සා කිරීමේ තීරණවලට දෙමාපියෝ එළඹෙති. වැඩිහිටියන් ඒ සඳහා විරුද්ධ වන විට කරන්නට දෙයක්‌ නොමැති නිසා දරුවාව හදා ගනිති. එනම් අවශ්‍යතාව අනුව දරුවෙකු හැදීම නොව, කරන්නට දෙයක්‌ නොවන තැන දරුවෙකු හැදීමයි. එනිසා දරුවා හා දෙමාපියන් අතර ආත්මීය බැඳීමක්‌ නොමැත. සිය පවුලට, අර්ථ ක්‍රමයට හා රටාවට බලහත්කාරයෙන් පාත්වූ කරදරකාරයෙකු ලෙස දරුවාව දකියි. මෙනිසා දරුවාට පවුල තුළ හිමිවන්නේ අඩු සුරක්‍ෂිතතාවකි.

එබැවින් බොහෝවිට දරුවාව මෙම පීඩාවන්ට ලක්‌කරනුයේ අසල්වැසියෙකි. හොඳින්ම දන්නා හඳුනන අයෙකි. ඥතියෙකි. නොඑසේනම් නිවසේම කිසියම් අයෙකි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ දරුවාත් දෙමාපියනුත් අතර පවතින සම්බන්ධතාවේ ස්‌වරූපය අදාළ පුද්ගලයා විසින් හොඳින්ම දැන හඳුනාගෙන සිටීමයි. දරුවා පාසල් ඇරී ගෙදර එන්නේ කෙසේද? දරුවන්ගේ රැකවරණය හා පෝෂණය වෙනුවෙන් දෙමාපියන්ගේ චර්යා රටාව කෙබඳුද? යනාදිය අදාළ පුද්ගලයා හොඳින්ම හඳුනයි.

සැකයට බඳුන්කිරීමේ ප්‍රවනතාව අඩුවීම යන කාරණාවද මේ හා සබැඳෙන තවත් හේතුවකි. එනම් අසල්වැසියෙකු, දෙමාපියකු, ඥතියෙකු හෝ සහෝදර සහෝදරියකු මේ සඳහා මැදිහත්වීම තුළ සැකකිරීමේ ප්‍රවනතාව අඩු ප්‍රතිශතයක්‌ ගනී. නිවසට, දරුවාට අතිශය හිතවත් සමීපතමයෙකු මෙය සිදුකරාවී යෑයි එක එල්ලේ සැකකිරීම උගහටය. එනිසා මෙම බොහෝ අපචාර, අතවර සිදුවීම් පසුපස සිටිනුයේ අතිශය සමීපතමයෙකි.

දරවෙකුව තමන්ට අවශ්‍ය, ඕනෑම ආකාරයට භාවිත කළ හැකිවීමද මෙලෙස අපචාර ඉහළයාමට තවත් හේතුවක්‌ වේ. දරුවෙක්‌ කිසිවෙකු සමඟ සමීප වූ විට ඔහු හෝ ඇය විසින් කියන කරන ඕනෑම දෙයක්‌ නොපැකිලිව ඉටුකරයි. හිස අතගාගැනීම, ඇඟ පිරිමැදීම, ලිංගික අවයව ස්‌පර්ශ කරවමින් පිරිමැදීම යනාදී වශයෙන්වූ තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක්‌ දරුවෙකු ලවා ඉටුකරවා ගත හැකිය. මෙම කාරණාව සෘජුවම සම්බන්ධ වන්නේ ලිංගික අවශ්‍යතාවන් සමගයි. සිය බිරිඳගෙන්, පෙම්වතියගෙන් හෝ වෙනත් ස්‌ත්‍රියකගෙන් නොලැබෙන සංතෘප්තවීමක්‌ ඔවුන් මෙලෙස මේ අහිංසක මල් කැකුළුවලින් බලාපොරොත්තු වෙයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ දරුවන් සියුමැළි බවින් යුතුව දැඩි ගතියකින් හා ප්‍රතික්‍ෂේප කිරීම්වලින් තොර අයවළුන් වීමයි. ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය පවතිනුයේ අතිශය සෘනාත්මක මට්‌ටමකය. එය මෙම සිදුවීම් සඳහා ප්‍රධානතම සාධකයක්‌ ලෙස අප දකිමු. 9 ශ්‍රේණියේදී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ මුළු පාඩම් පොතම උගන්වා හමාර වූවත්, "සොඳුරු යොවුන්විය" පාඩම ඉගැන්වීම බොහෝවිට ගුරුවරයා විසින් හිතාමතාම මඟහරියි. වර්තමානයේ මෙම ළමා අපචාර ස්‌ත්‍රී දූෂණ වැනි බොහොමයක්‌ සමාජ අපචාරවලට මූලිකම හේතුව වන්නේ ශ්‍රී ලංකාව තුළ ලිංගික අධ්‍යාපනය අතිශය දුප්පත් වීමයි. මෙලොව උපත ලබා ජීවත්වන ඕනෑම සත්වයෙකුගේ ප්‍රධානම අවශ්‍යතාව බවට පත්වන ලිංගික ක්‍රියාවලිය, මේ තරම් දුරකට සැඟවිය යුතු නැත. විධිමත් ලිංගික අධ්‍යාපනයක්‌ සියලුම පුරවැසියන්ට ලබාදිය යුතුය. බොහොමයක්‌ බිරින්දැවරු සිය සැමියාව තෘප්තිමත් කරවීමට නොදනී. ස්‌වාමිවරුද එසේමය. පෙම්වතා පෙම්වතිය අතර ඇත්තේද බොහෝවිට එවන් අතෘප්තිකර බැඳීමය. වෛද්‍යවරුන්ට පමණක්‌ මෙම අධ්‍යාපනය ලබාදීම සිදුනොකර සෑම සියලුදෙනාටම විධිමත් ලිංගික අධ්‍යාපනයක්‌ ලබාදීමේ අවශ්‍යතාව අපි අවධාරණය කර සිටිමු.

දරුවන්ව මෙලෙස අපචාර වෙත යොදාගැනීමට තවත් ප්‍රධාන හේතුවක්‌ වන්නේ සාක්‍ෂි විරහිත, නිහඬ අනවබෝධය දරුවෙකු සතුවන නිසාය. එනම් තමාට කළේ කුමක්‌ද? සිදුවූයේ කුමක්‌ද? කවුරු, කෙළෙස කුමක්‌ සිදුකළාද යන්න දරුවාට අවබෝධයක්‌ නැත. මේ සිදුවන්නේ අපචාරයක්‌ද? මෙය වැළැක්‌විය යුතුද? වැළැක්‌වීමට කළ යුත්තේ කුමක්‌ද? මේ කිසිවක්‌ දරුවාට අවබෝධයක්‌ නැත. මේ බව අපරාධකරුවා හොඳින්ම දැනගෙන සිටි. එබැවින් තමන්ට කිසිදු හානියක්‌ දරුවා විසින් සිදුනොකරන බවට ස්‌ථිර හෙයින්, දරුවන්ව මෙලෙස සිය අවශ්‍යතාවන්ට යොදා ගනී.

මෙම හේතු සාධක පිළිබඳව විමසා බැලීමේදී, දරුවාට හිතකර පරිසරයක්‌ වත්මන් සමාජ සංස්‌කෘතික වපසරිය විසින් නිර්මාණය කොට දී නොමැත. තිරසාර සංවර්ධනය, ආරම්භ කළ යුත්තේ නගරයෙන් නොව, ගම්, නියම්ගම් මට්‌ටමේ පටන්ය. අපචාර, අපහරණ හා පීඩාවන්ට අද ලක්‌වන්නේ නගරයේ ප්‍රභූවරයාගේ දරුවා නොව, කොළඹ හතේ, රාජකීයේ ආනන්දයේ, නාලන්දයේ දරුවා නොව, ගමේ පුංචි පාසලේ, නවෝද්‍යා පාසලේ, ඉසුරු පාසලේ දරුවාය. වතුකරයේ ටකරම් පාසලේ පුංචි දරුවාය. කැලෑ මැදින් මහවැස්‌සේ, පින්න මැදින් ගණ අඳුරේ පාසල් දුවන පුංචි දරුවාය. මෙය කාලීන අර්බුදයකි. දිනකට දරුවන් විශාල සංඛ්‍යාවක්‌ විවිධ අය වෙතින් කායිකව මෙන්ම මානසිකවද පීඩාවන්ට ලක්‌වෙයි. මේවාට සම්බන්ධ උදවිය පිළිබඳව මනෝ විශ්ලේෂණ, වෛද්‍ය පරීක්‍ෂණ සිදුකරන නමුත්, මේ වනතුරු ඒවායේ අවම වීමක්‌ අපට දැකිය නොහැකිය.

ළමා සංවර්ධන නිලධාරීන්, ළමා අපචාර වැටලීමේ නිලධාරීන්, ළමා හා කාන්තා කටයුතු මැති ඇමැතිවරුන් හා පොලිසියේ හදිසි අනතුරු ඒකක යනාදී තනතුරුවලට පමණක්‌ මෙම කාර්යයේ වගකීම පැවරිය යුතු නොවේ. අද අප පුරුදු - පුහුණු වී සිටින්නේ වගකිවයුතු නිලධාරීන් යෑයි කියමින් ඔවුන් වෙතම ඇඟිල්ල දිගු කිරීමට පමණි. එය එසේ සිදුවිය යුතු නොවේ. සමස්‌ත සමාජයේම සාතිශය වගකීම බවට මෙය පත්විය යුතුය. කඩ පිළේ, ගමේ - ගොඩේ, වෙලේ - දොළේ, කොළඹ රටේ, වන්නිකරේ, වතුකරේ පමණක්‌ නොව කුරුඳු හතේ වූවද කාගේ කාගේත් හදවත් මෙහිදී අතිශය සංවේදී විය යුතුය. වගකීමක්‌ නොව වගවීමක්‌ බවට එය පත්විය යුතුය. වත්මන් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්‌කෘතිකමය හා අධ්‍යාපනික ක්‍රමය විසින් මෙම අපරාධ, අපචාර හා දූෂණ - වංචා යනාදී ලෙස වර්ගීකරණය කරන ලද සමාජ ප්‍රගමනයේ නැවතුම්කාරක වෙත සෘජුවම වගකිව යුතුය.

අපරාධකරුවාද මිනිසෙකි. දරුවාගේ අවධියේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී වැඩිහිටියෙකු බවට පත්වූ පුද්ගලයා සමාජය ඉදිරියේ අපරාධකරුවකු වීමට තරම් ඔහුගේ චර්යාවන් හා විඥනය වෙනස්‌ වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. ඔහුගේ හෝ ඇයගේ මෙම තත්ත්වය රටේ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික පසුබිම අනිවාර්යයෙන්ම වගකිව යුතුවන්නේ එනිසාය.

අද වන විට එල්ලුම් ගහේ අවශ්‍යතාව මුළුමහත් සමාජයම අවධාරණය කරමින් සිටී. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක මෙය ක්‍රියාත්මක වුවහොත් අනිවාර්යයෙන්ම එල්ලා මරනු ලබන්නේ සැබෑම වරදකරුවායෑයි ඔබ සිතන්නේද? අපගේ දැනුමේ හැටියට එය එසේ නොවනු ඇත. අපගේ අතීත සමාජමය, දේශපාලන හැසිරීම් හා නීතිමය තීන්දු තීරණ සම්බන්ධව සලකා බලනවිට ඕනෑතරම් උදාහරණ හමුවේ. වැරදිකරු බවට පත්වන්නේ නඩු කියන්නට වත්කමක්‌ නැති, දේශපාලන සම්බන්ධතා රහිත, ඥතීන් නොමැති, හරිහමන් රැකියාවක්‌ නොමැති අන්ත අසරණ මිනිසෙකි. කුලියට වරදකරු බවට පත්වීමට තරම් අහිංසකයන් බිහිකර තිබෙන පීඩාකාරී සමාජ ආර්ථික වටාපිටාවක්‌ මෙම සමාජයේ අද වන විට නිර්මාණය වී හමාරය.

ළමා ශ්‍රමය විකිණීම අදටත් අප රටේ විශාල වශයෙන් සිදුවේ. අප ලෝකය ඉදිරියේ කෙතරම් පාරම්බෑවත්, කොපමණ නම්බු නාම වරප්‍රසාදවලින් පිදුම් ලැබුවත් තිත්ත යථාර්ථය වන්නේ, අදටත් අප මෙය ලියන මේ මොහොත වනවිටත් පංචිකාවත්තේ, කොම්පඤaඤවීදියේ, පිටකොටුවේ පමණක්‌ නොව මහනුවර පූජා නගරයේ, අනුරාධපුර ශුද්ධ නගරයේ පවා ළමා ශ්‍රමිකයෝ දහස්‌ ගණනින් සිය දහඩිය මහන්සිය හෙළමින් ඉබාගාතේ ඇවිද යනු දක්‌නට ලැබීමයි. ඔවුන් වෙනුවෙන් ළමා දින සමරනුයේ කවුද? ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටින්නේ කවරෙක්‌ද? වීදුරු මාළිගාවල සැප ඇඳන් - මෙට්‌ටවල සැතපී පුංචි සුරංගනාවියන්, කුමාරවරුන් හා නිදි කුමරියන් සිsහිනෙන් දකින, ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රිසියෙන් ඉගෙන ගන්නා දරුවා තුළත් පයට මිරිවැඩි සඟලක්‌ රහිතව නිරුවත් වූ පායුග කර්කශ මහපොළවේ නගමින් වැරහැලි ඇඳගෙන හිසට සෙවණක්‌, කුසට අහරක්‌ නොමැතිව අධ්‍යාපනය යනු කුමක්‌ද යන්නවත් නොදැන, ළමා ගීතයක්‌ කවියක්‌ උපන්තේකට අසා නැති, ඒත් කුසගින්න වෙනුවෙන් සතයෙන් සතය ටින් බෙළෙක්‌කවලට යදිමින් වීථී කොනේ මහ පාරේ අගුපිල්වල නිදන අහිංසක දරුවා තුළත් ඇත්තේ එකම හුරතලයකි. ඔවුන් සියල්ලෝම දරුවෝය. කඳුළින් පිරි එවන් යථාර්ථයක්‌ වෙත සිනහව රැගෙන එනු පිණිස සුවිශාල කාර්යභාරයක්‌ පවතිද්දී අද අප විසින් සිදුකරමින් සිටිනුයේ අපට අදාළ නොවන වෙනත් කාර්යයන්ය.

එම නිසා අප දැන්වත් දරුවන් ගැන හිතන්නට පටන් ගනිමු.


කසුන් සී. තිලකරත්න

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)