අනෙකාට අනුකම්පා කිරීමට නොව ආදරය කිරීමට


අදාළ රූපය



මේ ලෝකයේ එදාමෙදාතුර පැවති හා පවතින සෑම අරගලයකම හා සෑම ජනසංහාරයකම වක්‍රාකාරව හෝ හේතුකාරකය බවට පත්වන්නේ “ජාතිවාදය” බව කිව යුතුය. එකම රටක්‌ තුළ විවිධ ජාතීන් ජීවත්විය හැකිය. එබැවින් එකම රටක්‌ තුළ එකම ජාතියක්‌ ජීවත් විය යුතුය කියා අපට කිව නොහැකිය. නමුත් විවිධ ජාතීන් ජීවත්වන රටක භූමියක අහසින් හා ගොඩබිමින් සීමා නිර්ණය වූ ප්‍රදේශයක එකම ජාතිකත්වයක්‌ තිබිය හැකිය. අපගේ විවිධ විචාරකයන් දක්‌වන ආකාරයේ සභ්‍යත්වයද, සාඩම්බර ඉතිහාසයද නොව වඩාත් වැදගත් වනුයේ ජන හදවත් තුළ පවතින තිත්ත යථාර්ථය දෙස විනිවිද බලා ඒ පිළිබඳව කතිකාවක්‌ ගොඩනැඟීමය. එසේ නොමැතිව අහවල් ජාතිය මහජාතියය, අහවලුන්ට පසුව අහවලුන් පැමිණියෝය. එබැවින් අහවලුන්ට වඩා අයිතියක්‌. බලයක්‌ අහවලුන්ට හිමි විය යුතුය. යනාදී වශයෙන් කරනු ලබන විචාර හා සංකථන, සැබෑ සමාජ විද්‍යාඥයකුගෙන් හෝ සැබෑ විචාරකයකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එවැනි දේ තුළින් සැබැවින්ම ප්‍රකාශ වන්නේ ජාතිවාදී පරපීඩිකත්වයමය.


ජාතිවාදය යනු කිසියම් එක්‌ ජාතියක්‌ අනෙක්‌ ජාතීන්ට වඩා උසස්‌ය. බලවත්ය යනාදී වශයෙන් පිළිගන්නා සහ එම මතය ප්‍රචලිත කරමින් සිදු කරන්නාවූ කිසියම් ක්‍රියාදාමයන්ය. එසේම ජාතිකත්වය වශයෙන් අප සරලවම හඳුනාගනුයේ ඒකීය රටක්‌, එක්‌සේසත් වූ රටක්‌ යන අරුත කියෑවෙන එක්‌ රටක්‌ තුළ ජාතීන් රැසක්‌ යන අරුතින්ය. අපට අවශ්‍ය වන්නේ. අප ප්‍රාර්ථනා කරන්නේ එම සිහිනය සැබෑ කරගැනීමටය. එබැවින් මෙම ජාතිවාදය හා ජාතිකත්වය අතර පවතින පැහැදිලි වෙනස අවබෝධ කරගත යුතුය.


ඕනෑම සමාජයක්‌ තුළ කිසියම් සංස්‌කෘතියක්‌ ස්‌වභාවයෙන්ම ගොඩ නැගෙන්නේ නැත. එය අදාළ සමාජයේ සාමාජිකයන්ගේ සිතුම් පැතුම් හා අදහස්‌ උදහස්‌වලට බහුතර නියෝජනය පමණක්‌ සිදුවී නිර්මාණය කරගන්නා ලද නිර්මිතයක්‌ පමණි. එබැවින් සංස්‌කෘතිය යනු කාලීන වශයෙන් විවිධ සංස්‌කරණයන්ට අනිවාර්යයෙන්ම නතු විය යුතු ප්‍රපංචයකි. එසේ නොමැතිව එක්‌ සංස්‌කෘතියක්‌, අනෙකුත් සංස්‌කෘතීන්ගෙන් විතැන් කොට වසා තබා සුරක්‍ෂිත කළ නොහැකි අතර එසේ කළහොත් සිදුවන්නේ එම සංස්‌කෘතිය නිතැතින්ම මළ සංස්‌කෘතියක්‌ බවට පත්වීම පමණි.


ඒ අනුව සෑම ජාතියක්‌ සතුවම එහි සාමාජිකයන් විසින් නිර්මාණය කරගන්නා ලද සංස්‌කෘතියක්‌ පවතී. එබැවින් සිංහල සංස්‌කෘතිය ද්‍රවිඩ සංස්‌කෘතිය, මුස්‌ලිම් සංස්‌කෘතිය හා බර්ගර් – මැලේ සංස්‌කෘතිය යනාදී වශයෙන් ශ්‍රී ලංකාව තුළ විවිධ සංස්‌කෘතීන් සහිත ජාතීහු රැසක්‌ ජීවත් වෙති. ජාතිවාදය තුළින් සිදුවනුයේ මෙම විවිධ සංස්‌කෘතීන් දෙස තමන්ගේ සංස්‌කෘතියේ සිට තමන්ට සාපේක්‍ෂව බැලීමයි. එනම් සංස්‌කෘතික අන්‍යයා දෙස තමන්ට අවශ්‍ය ආකාරයට අන්‍යත්ව දෘෂ්ටියෙන් බැලීමක්‌ පමණි. තමන්ගේ මිනුම් දඬුවලින් කිරා මැන බැලීමක්‌ පමණි. එබැවින් සිදුවනුයේ තම සංස්‌කෘතිය බලවත්ය. වැදගත්ය. අනෙක්‌වාට වඩා සුවිශේෂීය යනාදී වශයෙන් අන්ධ විශ්වාසයක්‌ ඇති කර ගනිමින් “අන්‍යයා” දෙස වපරැසින් බැලීමක්‌ පමණි.


සංස්‌කෘතික අන්‍යා දෙස ඉහළින් සිට හෝ පහළින් සිට හෝ නොව ඇස්‌ මට්‌ටමට පැමිණ නෙතින් නෙත සමාන්තරකොට බැලිය හැකිනම් ජාතිකවාදී හැඟීම් සමඟ රටක්‌ තුළ සහජීවනය ඇති කළ හැකිය. එනම් තමන්ට අවශ්‍ය ආකාරයට නොව තමන්ගේ දෘෂ්ටියේ සිටිමින් නොව අන්‍ය සංස්‌කෘතිය යනු එයටම සාපේක්‍ෂ අනන්‍යතාවක්‌ සහිත දෙයකි. එය අපට අවශ්‍ය ආකාරයට නොව එයට අවශ්‍ය ආකාරයට කියවිය යුතුය. එනම් සංස්‌කෘතික ආත්මීයත්වය යනුවෙන් අප හඳුන්වනුයේ එයයි. අන්‍ය සංස්‌කෘතියක්‌ දෙස ආත්මීයව බැලීම හෙවත් අපට අවශ්‍ය ආකාරයට නිර්වචනය නොකිරීම එහි සරල භාවිතාවයි. මහජාතිය සුළු ජාතිය යනාදී බෙදීම්වලින් තොරව සියල්ලෝම එකම රටක්‌ තුළ පුරවැසියන් ලෙස ඇතිකරගනු ලබන හැඟීම ජාතිකත්ව සංකල්පයෙන් අර්ථ ගැන්වේ.

 

උතුරෙන් දකුණින්, නැගෙනහිරින්, බටහිරින් නොව යාපනයෙන්, ගාල්ලෙන්, කොළඹින්, නුවරින් හෝ වතුකරයෙන් නොව අප සියල්ලෝම ශ්‍රී ලංකාවෙන් නියෝජනය වන්නවුන් ලෙස, ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස සිතන්නට පතන්නට ජන විඥනය පුරුදු පුහුණු වන තුරු මෙම ජාතිවාදී අදහස්‌ තුළින් අපට විතැන්වීමට නොහැකි වනු ඇත. ජාතිවාදය යනු පහසුවෙන්ම ඇවිස්‌සිය හැකි ප්‍රපංචයකි. සිය ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක්‌ කිරීමට ජනතාව පෙළඹී සිටිති. කුසට ආහාර ගතට පැළඳුම් නැතත් සිය ජාතිය වෙනුවෙන් අන්ධානුකරණය වූ ජනතාව සිය ජීවිතය පූජාකොට හෝ ජාතිය නම් වූ මිථ්‍යා විශ්වාසය රැක ගැනීමට බැඳී සිටිති. ජනතාව මේ මට්‌ටමට ඇද දමා ඇත්තේ සුදු රෙද්දට මුවා වූ ආගමික සංකේතයන්ට මුවා වූ ඇතැම් දෘෂ්ටිවාදී සංකල්ප විසිනි. දකුණේ ජනතාව ද්‍රවිඩ ජනතාව දෙස තවදුරටත් කළු කාචය සහිත උපැස්‌ පැළඳ නරඹන තාක්‌කල් ද්‍රවිඩ ජනතාව දකුණේ ජනතාව දෙස එවැනිම ලෙස නරඹන තාක්‌කල් මෙය නොනවතිනු ඇත.


හමාර කිරීම

යුද්ධය ඇතිවන්නේ හදවත තුළය. තිස්‌වසරක යුද්ධය අවසන් වූවායෑයි අප කෙලෙස කොතරම් කීවද ඒ අවසන් වූයේ අවි ආයුධ සමඟ පැවති පහරදීමේ සහ විනාශ කිරීමේ යුද්ධය පමණි. හදවත්වල යුද්ධය තවමත් අවසන්වී නොමැත. අවසන් කළ යුත්තේ හදවතේ යුද්ධයයි. අප ආරක්‍ෂා කළ යුත්තේ අහවල් අහවල් ජාතීන්වල අනන්‍යතාවන් නොව ශ්‍රී ලාංකේය අනන්‍යතාවයි. අප ඉගෙන ගත යුත්තේ අනෙකාට ආදරය කිරීමට මිස අනුකම්පා කිරීමට නොව ලෝකය දෙස සාපේක්‍ෂව බැලීමට මිස විවේචනාත්මකව බැලීමට නොව, ශ්‍රී ලාංකේය අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ සිදුවිය යුත්තේ ජාතිකත්වයේ හැඟීම් වර්ධනයට මිස ජාතිවාදයේ ගිනි පුපුරු ඇවිස්‌සෙන පරිදිනම් නොව. අප බිහි කළ යුත්තේ ලෝකයේ ඇති පැරණිම දේ, පැරණිම සභ්‍යත්වය අප සතු වෙතැයි කියා රචනා ලියන දරු පරපුරක්‌ නොව අප ජීවත්වන පය ගසා සිටින වර්තමානය ගැන කතා කළ හැකි විචාරශීලී දරු පරපුරකි. සෑම අයෙකුටම තම තමන්ගේ ජාතිය උතුම්ය. එසේ වූ පමණින් අනෙක්‌ ජාතීන්ට කෙනෙහිළිකම් නොකළ යුතුය. උතුම් කියා කිසිදු ජාතියක්‌ නොමැත. ඇත්තේ සාපේක්‍ෂ වශයෙන් අනන්‍යතා සහිත ජාතීන්ගෙන් සැදුම් ලත් ලෝකයක්‌ පමණි.


අවසාන විග්‍රහයේදී අප නිරන්තරයෙන් උත්සාහ කළ යුත්තේ ද්‍රවිඩයාට හෝ සිංහලයාට හෝ ඉස්‌ලාමිකයාට හෝ මැලේ හෝ බර්ගරයාට දිවි ගෙවිය හැකි රටක්‌, සමාජයක්‌, ලොවක්‌ තැනීමට නොව තනි පුද්ගලයාගේ ජීවිතය සුත මුදිත කළ හැකි අනෙකා සමඟ අවබෝධාත්මකව ජීවත්විය හැකි. නිශේධනීය ලෙස නොගැටෙන මනුෂ්‍යයකුගේ විඥනයක්‌ තැනීමටය. එවිට ජාතිකත්වයේ හැඟීම් වර්ධනය වී ජාතිවාදයේ ගිනි පුපුරු නිවී යනු ඇත. 


මෙම ලිපිය වෙනත් හෙඩිමකින් යුතුව දිවයින පුවත්පතේද පළවූවකි. තවද පවුර නමැති දේශපාලන විචාර කෘතියේද එකල මෙය පළවී තිබුණි.





Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)