'ගැබ්බර මිනිසා', තේමාත්මක හැරවුමකි



Image result for gabbara minisa

"නාට්‍ය සාහිත්‍යයක්‌ යනු සිත් ගන්නාසුලු වින්දනීය සිද්ධි මාලාවකින් සහ අවස්‌ථාවලින් පරිපූර්ණ වූ නළු නිළි පිරිසක්‌ විසින් ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉදිරියේ රඟදැක්‌වීම සඳහාම නිර්මාණය කරන ලද අපේම ජීවිතය පිළිබඳ කවියක්‌ වන්නේය." (වෙම්බර්ස්‌ටර් ශබ්දකෝෂය)

'ගැබ්බර මිනිසා' නම ඇසුණු සැණින්ම අප සිතුවේ තවත් එක්‌ ප්‍රහසනාත්මක නාට්‍යයක්‌ නැරඹීමේ අවස්‌ථාවක්‌ පමණකි කියාය. නමුත් ලෝක ධර්මි නාට්‍ය කලා සම්ප්‍රදාය තුළ වත්මන් රැල්ලේ තේමාත්මක හැරවුමක්‌ වශයෙනුත්, යථාර්ථවාදයෙන් ඔබ්බට ගොස්‌ අධි යථාර්ථවාදය තුළ හිඳිමින් රස විඳිය හැකි නිර්මාණයක්‌ වශයෙනුත් ගැබ්බර මිනිසා ගොඩනැගී ඇති බව නාට්‍යය නැරඹීමෙන් පසු සිතුණි.

ඓතිහාසික ග්‍රීක රංගන ශාලා ශෛලියේ ආභාසය ලබා නිර්මාණය කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර රඟමඬල තුළ මා අසුන් ගෙන සිටියේ ප්‍රේක්‍ෂකාගාර අර්ධයේ දකුණු පසය. නමුත් වේදිකා පසුතල නිර්මාණය 'සරච්චන්ද්‍රවළට' නොගැළපෙන බවක්‌ නාට්‍ය ආරම්භයේදීම මට හැඟී ගියේය. මන්ද යත් 'මනමේ', 'සිංහබාහු' යන නාට්‍ය ධර්මි හෙවත් ශෛලිගත සම්ප්‍රදාය තුළින් නිර්මිත නාටකයන් උදෙසාම 'වළ' මැනවින් ගැළපෙන හෙයිනි. කෙසේ නමුත් සෘජු ඉදිරිපස කෝණයෙන් පමණක්‌ සම්පූර්ණ දෘෂ්ටිමය වින්දනයක්‌ ලද හැකිවන සේ නාට්‍ය නිර්මාණය කිරීම ලෝකධර්මී නාට්‍ය සම්ප්‍රදායේ ලක්‍ෂණයක්‌ වන බැවින් රස වින්දනයට එය නම් බාධාවක්‌ නොවූ නමුත් අතර මැද දී ඇදවැටුණු මඳ වර්ෂාව හේතුකොට ගෙන නාට්‍යයේ ගලායාමට බාධාවක්‌ විය. වර්ෂාව නොතකා නාට්‍ය රඟ දැක්‌වීම ප්‍රශංසාත්මක ය.

වළ වටේටම සිනහ රැල්ලකි. ප්‍රහසනාත්මක නාමයක්‌ සමඟින් අධියථාර්ථවාදී පඨිතයක්‌ වේදිකාගත වෙයි. තරුණ අපගේ සිත් සතන් වසඟ කරවමින් මුලින්ම වේදිකා ප්‍රවිෂ්ටය ලැබුවේ සුකුමාල තරුණියකි. ප්‍රේක්‍ෂකයා නිහඬ ය. නාටකය ගලා යයි. දෙමාපියන්ගෙන් මඳකට නිදහස්‌ව, තට්‌ටු නිවාස සංකීර්ණයක්‌ තුළ කාමරයක තනි වූ දියණිය සහ ඇගේ පෙම්වතාගේ ප්‍රේමාලිංගනයක්‌, වීදුරු ජනෙල් තුළින් ඔවුන්ගේ නිදහස උදුරා ගන්නට අසල්වැසි නිවැසියන්ගේ දැස්‌ අවදියෙනි. නියොන් ආලෝකය නිවී යයි, නැවත ආලෝකවත් වෙයි. ගබ්සා විරෝධී සංගමයේ සභාපති මිස්‌ටර් දල්පධාතු සිහිනයක්‌ දකිමින් සිටියි. ඒ සිහිනය නම් නගරය මැදින් ගලා බසින රුධිර ගංගාවක්‌· ඒ ගංගාවේ කුඩා දරුවන්ගේ පුංචි හදවත්· පුංචි පුංචි මොළ කැබැලි ගසාගෙන යයි· දල්පධාතු දෙගිඩියාවෙනි. කෑගසයි. හීනයේ උච්චතම අවස්‌ථාව එයයි. නමුත් නාට්‍යයේ පළමු දුබලතාව ලෙස මා දුටුයේද එම හීනයමයි. මන්දයත් ගැබ්බර මිනිසා අපට නුහුරු ය. නුපුරුදු ය. ගැබිනි මව්වරු නම් අපි අසා දැක දැන ඇත්තෙමු. යථාර්ථයෙන් වියුක්‌ත වූ නාට්‍ය නිර්මාණයක්‌ ලෙස ගැබ්බර මිනිසා සාර්ථක වුව ද ආරම්භයේදීම උක්‌ත දක්‌වන ලද සිහිනය තුළින් සමස්‌ත නාට්‍යයම කියා හමාර ය. නාට්‍යයේ අවසානය මා විසින් මනෝ මූලික වේදිකාවක රඟ දැක්‌වූයේ නාට්‍යය ආරම්භයේම ය.

මිස්‌ටර් දල්පධාතු ගබ්සා විරෝධී සංගමයේ සභාපති ය. ඔහුගේ සමීපතම සේවකයා බොලඤ්ෙÆa ය. දල්පධාතුගේ දියණිය වන, රොමා දල්පධාතු අවුරුදු 18 ක පමණ යෞවනියකි. තරුණයකු සමඟ ඇති කරගන්නා රහස්‍ය ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක්‌ ලෙස ඇය අඩු වයසින්ම ගැබිනියක්‌ වන්නී ය. දල්පධාතුගේ බිරිය මිසිස්‌ දල්පධාතු ද යථාර්ථය තුළ පවතින අසම්මතය හරහා ගැබිනියක්‌ වී සිටින්නී ය. අදාළ සිද්ධීන්ගෙන් පසුව අපට හමුවන ක්‍රියාකාරී චරිත යුගලය වන්නේ දල්පධාතුගේ පෙම්වතියක මෙන්ම ඔහුගේ උපදෙස්‌ පරිදි ගබ්සා වෛද්‍යවරයාගේ සහායිකාව ලෙස කටයුතු කරන රෝසි නමැත්තිය යි. ගබ්සා වෛද්‍යවරයාගේ කාර්යභාරය වන්නේ සිය ලාභය සහ අභිවෘද්ධිය පිණිස ඉහළ අයකිරීමක්‌ සමඟින් ගබ්සා කිරීමේ ක්‍රියාවලිය යි.

ගැබ්බර මිනිසාගේ සමාජ කතිකාව ඉතාමත් වැදගත් වන්නේ පේරාදෙණියේ වෛද්‍ය සිසුන් විසින්ම මෙම අවස්‌ථාව සංවිධානය කර තිබීමෙනි. ගබ්සාව ගැන කතාකරන විට එය සිදු කරනුයේ වෛද්‍යවරුන් විසින් සිය ප්‍රධාන ආදායමට අමතර ඉපයීමක්‌ වශයෙනි. එනිසා වෛද්‍ය සිසුන් විසින්ම ගබ්සාව පදනම් වූ මෙවැනි නව නාට්‍යයක්‌ 'වළට' ගෙන්වීමම ප්‍රශංසනාත්මක ය.

ගබ්සාව ඒ ආශ්‍රිතව දිවෙන මාතෘ ප්‍රේමය පරයා නැගෙන පීතෘ ප්‍රේමය, උද්ධමනය සහ ලිංගිකත්වයට එය බලපාන අයුරු, තනතුරක වගකීම සහ හැඟීම් දැනීම් හරහා එය අමතක වී යැම, තමන්ගේ පොල්පරාල වෙනුවට අනුන්ගේ පොල්කෙඳි සොයා යන සමාජය වැනි පැතිකඩ කිහිපයක්‌ ඔස්‌සේ කතාකරන්නට ගැබ්බර මිනිසාගේ තේමාත්මක විහිදුම සමත්ය.

ගබ්සාව ගැන කතා කරන විට ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වනු ලබන්නේ (Abortion) ලෙසිනි. බෞද්ධ සාහිත්‍යය තුළින්ද ගබ්සාව පිළිබඳ තොරතුරු හමුවේ (විනය පිටකයේ පාරාජිකා පාලියේ). එනම් ක්‍රි.පූ. 6 වැනි සියවස දක්‌වා අතීතයකට ගබ්සා ක්‍රියාවලිය දිව යන්නේය. වර්ෂ 2009 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ සුමිත්‍රා රාහුබද්ධගේ 'කන්දක්‌ සේ මා' කෘතිය තුළ ද මෙම ගබ්සාව ගැන කතා කරයි. මෑතකාලීනව ගබ්සාව විශාල සමාජ අර්බුදයක්‌ බවට පත්වී ඇත. වෛද්‍ය විද්‍යාවට අනුව ගබ්සාව කොටස්‌ 2 කි. එනම්(

1. ස්‌වාභාවික ගබ්සාව (Spontaneon Abortion)

2. සාපරාධී ගබ්සාව (Criminal Abortion) වශයෙනි.

නාටකය තුළ රොමා දල්පධාතු (දියණිය) ගබ්සාවට ලක්‌වන්නේ වයස අඩුකම සහ දෙමාපියන් ප්‍රධාන කොටගත් සමාජයෙන් බේරීම සඳහාය. එතැනදී රොමාගේ පෙම්වතා නිරූපණය කරනුයේ සාම්ප්‍රදායික පිරිමියාගේ භූමිකාව ම ය. ඔහු රොමාට ගැබ විනාශ කරන්නට උදව් කරයි. වෛද්‍යවරයාට මුදල් බඳියි. එසේම රොමාගේ මුවින් පිටවූ "මීටත් වඩා වැඩිහිටිකමක්‌ මොකක්‌ ද අම්මේ?" යන ප්‍රකාශය මා සිත්ගත් අවස්‌ථාවකි.

මිසිස්‌ දල්පධාතු ගබ්සාවට ලක්‌වන්නේ මවක බිරිඳක මෙන්ම විවාහක සැමියාගෙන් බාහිරව ලිංගික ඇසුරක්‌ ලද ගබ්සා විරෝධී සංගමයේ සභාපතිගේ බිරිඳ වශයෙනි. කොටින්ම කියතොත් සම්ප්‍රදාය, සංස්‌කෘතිය, ආගම, වයස යන ලෝකයන්ට මුවා වී මිනිසා ලිංගිකත්වයට ආශා කරන්නේය. පසුව අත්වැරැදීම යන 'නිදහසට කරුණ' භාවිත කරමින් ලිංගිකත්වයේ ප්‍රතිඵලයන්හි සාක්‍ෂි මකා දැමීමේ ප්‍රයත්නයක්‌ වශයෙන් 'ගබ්සාව' යොදා ගන්නේ ය. මිස්‌ටර් දල්පධාතුගේ සේවක බොලඤ්ෙÆa චරිතයෙන් ද මේ පිළිබඳ ඉඟි කිරීම් හමුවන්නේ ය.

පිරිමියෙක්‌ ගර්භණීභාවයට පත්විය හැකි ද? ප්‍රකෘති ලෝකය තුළ පවතින යථාර්ථම ය ප්‍රශ්නය එය වන නමුත් පශ්චාත්නූතනවාදී ප්‍රබන්ධ සාහිත්‍යය තුළනම් ඇත්තේ අධියථාර්ථවාදය කි. සිංහබාහු නාට්‍ය තුළ සිංහයකුට දාව සිංහබාහු උපත ලැබුවා සේ ගැබ්බර මිනිසා ද දරුවකු ප්‍රසූත කළේය. එක ආකාරයකින් ගත් කල ගැබ්බර මිනිසා වනාහී පීතෘත්වය ගැන කතාකිරීමකි. එනම් අන්‍යත්වය හරහා සංවේදනාවන්ට ආමන්ත්‍රණය කිරීමකි. මිස්‌ටර් දල්පධාතු වැරැදීමකින් ගැබ් ගනී. ඔහු සිය තත්ත්වය, සම්ප්‍රදාය සහ සංස්‌කෘතිය රැකගනු වස්‌ ගබ්සාවට යොමුවන්නට තීරණය කරයි. මෙම ප්‍රශ්නයම කාන්තාවට ද පොදු බව පිරිමියා දැනගත යුතු ය. තමන්ට අත්දැකීමක්‌ නොමැති යමක්‌ පිළිබඳව තමන් විසින් ම සම්බාධක පනවාගෙන එයට විරුද්ධ වන නමුදු තමනුත් අදාළ අත්දැකීම විඳින කලට සිය මුල් මතය හිතලුවක්‌ පමණක්‌ බවට පත්වන බව ද මින් පෙනේ. දියණිය, බිරිඳ මෙන්ම ගබ්සා විරෝධී සංගමයේ සභාපතිවරයා ද අවසානයේ දී ගබ්සා වෛද්‍යවරයාගේ පාරිභෝගිකයකු බවට පත්වන්නේය. කාන්තාවක්‌ ගැබ මෝරන තුරු විඳින, විඳවන දුක ඔහු ද විඳින්නේ ය. ලෝකයේ තාක්‍ෂණයට ඕනෑම ආකාරයක නව සොයා ගැනීමක්‌ කළ හැකි ය. නාට්‍යයේ පරිදි පිරිමියෙක්‌ වුව ද ගබ්සා කරන ආකාරය සොයාගත හැකි ය. නමුත් තාක්‍ෂණයට කළ නොහැකි දෙයක්‌ ද ඇත. එනම් පුද්ගල සංවේදීත්වය, හදවතේ හැඟීම් වෙනස්‌ කළ නොහැකිය.

යථාර්ථයෙන් වියුක්‌තව අධියථාර්ථය තුළ පියා ගැබ්ගෙන ඇත. ඔහු විලිරුදාව, ප්‍රසූත වේදනාව විඳින්නේ ය. දොළදුක විඳින්නේ ය. අපට උපතින්ම නොමිලේ ලැබෙන සිනහව සේම දරු සම්පත ද මිලට ගතනොහැකි සම්පතක්‌ බව නාට්‍යයෙන් පේන්නේ ය. එමෙන්ම ගබ්සාව නිසා මිසිස්‌ දල්පධාතු සහ දියණිය මියයන අතර මිස්‌ටර් දල්පධාතු සිය දරුවා ප්‍රසූත කරන්නට තීරණය කරන්නේ ය. නාට්‍ය තුළ හැරවුම, නැතිනම් සාරාංශය වන්නේ එම අවස්‌ථාවයි. 'මම තීරණය කළා මේ දරුවට ඉපදෙන්න ඉඩ අරින්න..." ඔහු අපූරු ආදර්ශයක්‌ වෙමින් වත්මන් සාහිත්‍යයට පරමාදර්ශී චරිතයක්‌ මවන්නේ ය. 'මනමේ', 'සිංහබාහු' සහ 'සුභ සහ යස යන අමරණීය නාට්‍යයන් අතරට පැමිණීමට ගැබ්බර මිනිසාට අසීරුවන නමුත් සම්ප්‍රදාය බිඳීම, අධියථාර්ථවාදය තුළින් මානව සංවේදනාවනට ආමන්ත්‍රණය කරන්නට ප්‍රොත්සාභී වීම, තේමාත්මක නූතනත්වයකින් නාටකය දිගහැරීම ආදී කරුණු හේතුකොටගෙන මානව සංවේදනාවන්ට තදින්ම ආමන්ත්‍රණය කරන දෙබස්‌, රංගනයන් නාට්‍ය තුළ නොමැති වුව ද 'ගැබ්බර මිනිසා' සාර්ථක වී ඇත.

(මෙම ලිපිය 2012 වසරේ දිවයින පුවත්පතේ පළවූවකි)

Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)