නව අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ප්‍රායෝගික ද?


Related image


"අලුත් අලුත් දේ නොතනනා ජාතිය ලොව නොනගී" යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ එකතැන පල්වෙන සංස්‌කෘතියෙන් (culturer) ඔබ්බට මිදෙමින් අලුත් නිර්මාණ, නව සංකල්පනා සහ නවමු ආකාරයේ දෘෂ්ටිකෝණ (Point of viws) ඔස්‌සේ අනාගතය දකින්නට පුද්ගලයා උත්සාහවත් කිරීම සඳහාය. එය සත්‍යයකි. ඇති දේවල්වල නීරස තැන්වලට රසමුසු කොට නැවත තනා රසවත් තැන් තවත් රසවත් කොට අනාගතයට පියමන් කිරීම ලොව නගිනා ජාතියකට, එසේත් නොමැතිනම් සංවර්ධනය වන ජාතියකට (nation of developing) ඉමහත් ගාමකයක්‌ බව නොකියාම බැරිය.

ශ්‍රී ලංකාවේ සාක්‍ෂරතාව 92% ක්‌ තරම් වේ. එබැවින් අප රටේ 92% ක්‌ තරම් වූ ජනපිරිසකට අකුරු ලිවීමට හෝ කියවීමට හෝ යන භාෂාත්මක (Knowlage of
language) දැනුම් අවබෝධව පවතී. මේ අතරිනුත් භාෂා දෙක තුනක්‌ දන්නා උදවිය අප රටේ 10% ක්‌ පමණ සිටිති. මෙය අපූරු ප්‍රවණතාවකි. නමුත් පසුගිය වසර කිහිපයක අ. පො. ස (සා. පෙළ) විභාග ප්‍රතිඵල සසඳා බලන විට අප රටේ විභාගයට අසුන් ගන්නා පිsරිස්‌වලින් 50% ක්‌ තරම් වූ පිරිසක්‌ අසමත් වන බව හඳුනාගෙන තිබේ. මෙයට හේතුව කුමක්‌ද? යන්න සොයා බලන්නේ නම් ඉතා වටී. විශේෂයෙන් ම දක්‍ෂ ළමුන් පවා ආර්ථික, සමාජයීය ප්‍රශ්න හමුවේ අසමත් වන අවස්‌ථා එමටය. (පසුගිය යුද වාතාවරණය තුළ මෙය බෙහෙවින් බලපෑවේය.)

මේ සෑම දෙයක්‌ම මෙසේ තිබිදී පසුගිය දිනෙක අප රටේ විභාග කොමසාරිස්‌ ජෙනරාල්වරයා වන අනුර එදිරිසිංහ මහතා අප අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අපූරු යෝජනාවක්‌ ගෙන ආ බව පසුගිය සැප්තැම්බර් 27 වැනිදා "දිවයින" පුවත්පතෙහි මුල් පිටුවේ ප්‍රධාන පුවතින් වාර්තා විය. මෙම යෝජනාවේ සුබ මෙන්ම අසුබ තැන් ද පවතින්නා වූ බැවින් ඒ පිළිබඳ සුළු වශයෙන් තර්කයක්‌ ගෙන ඒම මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථය වෙයි.

නවය ශ්‍රේණියට සිසුන් තෝරා ගන්නට ජාතික මට්‌ටමේ විභාගයක්‌ පැවැත්වීම ඉතා සුදුසුය. එවිට දක්‍ෂයින් පිsරිසක්‌ සා. පෙළ විභාගය සඳහා අසුන් ගන්නා බැවිනි. එවිට එදිරිසිංහ මහතා බලාපොරොත්තු වන ආකාරයේ වැඩි ප්‍රතිශතයක්‌ සා. පෙළ අසමත් වීමෙන් වැළකී ධනාත්මක අගයකින් ඔවුන් සමත්වනු ඇත. නමුත් නවය වසරින් අසමත් වන ළමුන්ව වෘත්තීය පුහුණුව උදෙසා යොමු කරවීමට නම් විධිමත් වැඩසටහනක්‌ තිබිය යුතු බව ද ඔවුන්ගේ අනාගතය ස්‌ථාවරවම ශක්‌තිමත් කළ හැකි බවට ද සහතිකයක්‌ තිබිය යුතුය.

විශේෂයෙන්ම ඔහු ප්‍රකාශ කරන ආකාරයට උසස්‌ පෙළට තමන් කරන විෂයමාලාව (Kind of subjects) සා. පෙළ විභාගයේදී ම සිසුවාට තෝරාගන්නට සිදුවීම තුළ පුස්‌සක්‌ පවතී. එනම් සිසුන් විවිධාකාර දෘෂ්ටිකෝණ ඔස්‌සේ සිය උසස්‌ පෙළ විෂයයන් තෝරාගන්නට පෙළඹීමයි. ඒ අතර,

නගරයේ ප්‍රධාන පෙළේ පාසල්වල උසස්‌ පෙළ විභාගයට විෂයමාලා හතරම තිබෙන නමුත් ග්‍රාමීය පාසල්වල බොහෝ දුරට ඇත්තේ කලා (Arts) විෂයමාලාව පමණි.

සිය දෙමාපියන්ගේ ආර්ථික මට්‌ටම අනුව උසස්‌ පෙළට විෂයයන් තෝරාගැනීම (අඩු ආදායම්/ටියුෂන් වියදම/ නගරබද පාසල්වලට ඇතුළත් වීමේ අපහසුව)

සාමාන්‍ය පෙළින් තමන් ලබන ප්‍රතිඵල මත උසස්‌ පෙළ තෝරා ගැනීම (විශේෂයෙන්ම හොඳ ප්‍රතිඵල ඇති බොහෝදෙනා විද්‍යාව(Science / ගණිතය (Maths) හා වාණිජ (Commerce)  විෂයයන් හදාරන අතර අඩු ප්‍රතිඵල ඇති බොහෝදෙනා කලා (Arts) විෂය ධාරාව තෝරාගන්නට පෙළඹේ)

මෙවැනි ආකාරයට උසස්‌ පෙළට විෂයයන් තෝරාගන්නා සිසුන්ට තමන් අනාගතයේ හදාරන්නට බලාපොරොත්තු වන විෂය මාලාව ගණිතය ද විද්‍යාව ද වාණිජ ද එසේත් නැතිනම් "කලා" ද යන්න තෝරාගැනීම උගහට කරුණකි. මන්ද යත් මෙය ලියන මා ද සා. පෙළ. ට විෂයයන් 10 ම සම්මාන ඇතිව සමත් වූ අයෙක්‌මි. අපේ ග්‍රාමීය පරිසරයත්, දෙමාපියන්ගේ ආර්ථික මට්‌ටමත්, හේතුවෙන් අඩු වියදමකින් හැදෑරිය හැකි එකම විෂයමාලාව වූයේ කලා විෂය මාලාව වන බැවින් මම එය ගමේ පාසලෙන් ම හදාලීමි. එසේ නොමැතිව සා. පෙළ. කාලයේ දී උසස්‌ පෙළ පිළිබඳ කිසිදු තේරීමක්‌ මා තුළ නොවූ බව ඉඳුරාම කිව යුතු ය.

සාමාන්‍ය ඉංග්‍රීසි (General English) හා සාමාන්‍ය ගණිතය (General Maths) වශයෙන් සා. පෙළ. විභාගයට ප්‍රශ්න පත්‍ර ලබාදීමෙන් කලා විෂය හදාරන්නවුන් හට මහත් අසාධාරණයක්‌ සිදු වේ. විශේෂයෙන්ම අද කලා විෂය හැදෑරූ සිසුන්ට විශ්වවිද්‍යාල තුළ මෙන්ම රටේ රැකියා අවස්‌ථාවන් තුළ ද හිමිවන්නේ අඩු වටිනාකමකි. (මේ ගැන වෙනමම සාකච්ඡා කළ හැකිය) එබැවින් එම අඩු වටිනාකම තවදුරටත් පහත වැටීමක්‌ ඉහත සඳහන් යෝජනාවෙන් සිදු වන බව දතයුතුය. දිසාපතිවරු, නීතිඥවරු වැනි පරිපාලන නිලධාරීන් බිහිවන්නේ බෝහෝවිට කලා විෂයයන් හදාළ සිසුන් තුළිනි. වෛද්‍ය වෘත්තිය, ඉංජීනේරු වෘත්තිය වැනි සෘජු රැකියා අවස්‌ථා මෙම සිසුන්ට නොලැබෙන බව කවුරුත් දනිති. නමුත් බොහෝ රැකියා අවස්‌ථා කලා සිසුන්ට විවරව පවතී. හොඳ ඉංග්‍රීසි දැනුමක්‌ මෙන්ම හොඳ ගණිතමය දැනුමක්‌ ද මෙම සිසුන්ට ද තිබිය යුතුමය. එනිසා කළ යුත්තේ සැමට ගැළපෙන ඉංග්‍රීසි දැනුමක්‌ ලබාදීමය. අද ජාත්‍යන්තර පාසල් (International Schools) පවා බිහිව ඇති යුගයකට මෙවැනි යෝජනා කොහොඹ ගස්‌වලට පැණිකොමඩු වැල් යවන්නා වැනිය.

ග්‍රාමීය පාසල් පද්ධතිය හොඳින් සංවර්ධනය (develope) කළ යුතුය. "ටියුෂන්" අධ්‍යාපනයට කිසියම් ආකාරයක සීමාවක්‌ (limit) පැනවිය යුතුය. එසේ නොමැතිව මෙම ගෙන එන තීරණවලින් සිදුවන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ඉතා අසරණ වීමය. යන එන මන් නැති වීමය. මෙය "පුද්ගලික විශ්වවිද්‍යාල" ගෙන ඒමටත් වඩා බරපතල වනු ඇත. විශේෂයෙන්ම එකම සහතිකයකට සා. පෙළ. ඉංග්‍රිසි හා ගණිතය ට සම්මාන සාමාර්ථ ඉල්ලා සිටින රැකියා අයදුම් පත්‍ර (job application) වලින් දෙවන වර එම විෂයන්ට විශිෂ්ට ප්‍රතිඵල ලැබූවන්ට පවා අවස්‌ථාවක්‌ හිමි නොවේ. දැනුම හඹායන ලෝකයේ, සංවර්ධනය වෙමින් ඉදිරියට ඇදෙන ලංකාවේ කිසිදු බෙදීමකින් තොරව සිසුන්ට පරිපූර්ණ දැනුමක්‌ ලබා දිය යුතුය.

විශේෂයෙන්ම "කලා" විෂය හදාරන්නවුනට විධිමත් ඉංග්‍රිසි දැනුමක්‌, පරිගණක දැනුමක්‌ ලබාදීමෙන් ඔවුන් හදාරන විෂය මාලාවන්ට අනුව හොඳ අනාගතයකට ගමන් කළ හැකිය. මන්ද යත් පුළුල් අවබෝධයෙන් යුතුව සමාජය ගැන/ භාෂාව ගැන/ ආගම දහම ගැන/ දේශපාලනය ආදිය ගැන හදාරන්නේ "කලා" විෂය තුළින්ම වන බැවිනි. නැතිනම් දුප්පත්කමට "කලා" කරන ළමුන්ට දුප්පත් වූ දැනුමක්‌ ලබාදීම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයක්‌ නොවන බව නිලධාරීන් අවබෝධ කර ගත යුතුය. වැඩි සුදුසුකම් වලින් ඉදිරියට යැම විනා අඩු සුදුසුකම් වලින් ඉදිරියට යැම ඉදිරි පැවැත්මේ තාවකාලික සාඵල්‍යතාවක්‌ පමණක්‌ බව අවබෝධ කරගත යුතුය.

ගෙන ආ යෝජනාවේ අඩු - ලුහුඬුකම් පෙන්වාදීම විශ්වවිද්‍යාල සිසුන් වන අපගේ යුතුකමක්‌ බව මම සිතමි. එසේ නොමැතිව බලධාරීන්ට වුවමනාවට යෝජනා ගෙන ආ පමණින් පාර්ලිමේන්තුවේ බහුතරය (majority) ආණ්‌ඩුවට සිටි පමණින් ක්‍රියාත්මක කිරීම අනාගතයට සුබදායක නොවන බව ද වටහා ගත යුතුය. මෙවැනි යෝජනා ගෙන ආවාට කම් නැත. පවතින ක්‍රමයේ වෙනසක්‌ සිදුවන්නේ එවිටය. විශේෂයෙන්ම අදාළ යෝජනා පිළිබඳ කථිකාවක්‌ ගොඩනැඟෙන්නේ ද එවිටය. එනිසා යෝජනා ගෙන ආ පමණින් ක්‍රියාවට නැගීමට යැම බුද්ධිමත් ක්‍රියාවක්‌ නොවන බව නම් අවධාරණයෙන්ම සිතා ගත යුතුය.

(මෙම ලිපිය වර්ෂ 2010 ඔක්තෝබර් මස 18 සදුදා දින දිවයින පුවත්පතේ පළවිය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් පළ කළ පුවත් වියමන කෘතිය තුළත් අන්තර්ගතවිය)




Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)