කොරෝනා ගෙනා සමාජ ප්‍රශ්න


ගෝලීය වසංගතයක් ලෙස කොරෝනා අද වනවිට සමස්ත මනුෂ්‍ය ජීවිතයම ව්‍යාකූල කොට හමාරය. උපන් නූපන් දරුවාගේ පටන් කිසිදු භේදයකින් තොරව මෙය සිදුකොට ඇති අහිතකර බලපෑම සුළුපටු නොවේ. මෙම අවධානම කවදා කෙලෙස අවසන් වේවිදෝ යන්න දැන්ම තියා පුරෝකථන සැපයීමටද කල් වැඩිය. නමුත් යම් දිනෙක කෙලෙසකින් හෝ මෙම අර්බූදකාරී තත්ත්වය අවසන් වනු ඇති බවට සමස්ත ලෝකවාසීන් තුළම සැගවුණු, අවිනිශ්චිත බලාපොරොත්තුවක් ඇති බව අපි දනිමු. කෙසේ නමුත් පසුගිය මාස 05ක 06ක කාලය තුළ මිනිසාට ජීවිතය දෙස නැවත සිහිබුද්ධියෙන් හැරී බලන්නට කොරෝනා විසින් ඉගැන්වූ පාඩම්නම් බොහෝය.

එසේම පසුගිය මාස කිහිපයක සිට අපගේ චර්යාව පෙර නොවූ විරූ ආකාරයකට වෙනස්වීමට පටන්ගෙන ඇත. දෛනිකව අප නිරීක්ෂණය කරමින් සිටියේ ඇදිරිනීතිය කවදාද? කුමන ප්‍රදේශවලටද? අද දින අප රටේ කොරෝනා රෝගීන් ගණන කොපමණද? මරණ කොපමණද? රජයෙන් රු. 5000 ලබාදෙන්නේ කවදාද? ඉදිරි මාසවලත් එය ලැබෙයිද? යනාදී වශයෙන් වූ සීමිත අවශ්‍යතා, වුවමනාවන් කිහිපයක් දෙස පමණක් ඒකාකාරී දෛනික අවධානයක් පමණි.
එබැවින් මෙම පසුබිම තුළ ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න පිළිබදව අවධානය යොමු නොවන අතරම්ය. එයට හේතුව සමස්ත ලෝකයේම දිශානතිය එක් දිසාවකට පමණක් යොමුවී තිබීමයි. වෙනදා මාධ්‍යයෙන් අප අතරට පැමිණි විවිධ සමාජ ගැටලු සම්බන්ධ පුවත් අද වනවිට අළු යට සැගව ගිය ගිණි පුපුරු සේ සැගව ගොසිනි.
එය එසේ වූවත් මෙම නව්‍ය කොරෝනා තත්වයේ අවධානම පහව ගිය සැනින් අනිවාර්යයෙන්ම එම ගිනි පුපුරු මහා ගිණි ජාලා බවට පත්ව සමාජ දේහය පුරා බුර බුරා නැගෙන්නට ආරම්භවීම වැළැක්විය නොහැකිය.

අනවශ්‍ය ගැබ්ගැනීම් සහ පවුල් සැළසුම්

නව්‍ය කොරෝනා විෂබීජ අර්බූදය හේතුවෙන් ලෝකය පුරා, රට පුරා ජන සංචරණය සීමා වන්නට වූයේ හිටි අඩියේමය. දුර බැහැර ප්‍රදේශවල සේවය කළ ස්වාමි පුරුෂයෝ කඩ්මුඩියේ නිවෙස්වලට කොටුවූහ. සරලවම කිවහොත් මෙතෙක් ගතකළ නිරන්තර සමාජ සංචරණශීලී ජීවිතය, නිවසට සීමාන්විත සංචරණයක් පමණක් විය. සොබාදහම හා ජීවිත අරගලය විසින් බොහෝ අවස්ථාවල පාලනය වූ පෞද්ගලික ලිංගික ජීවිතය පවා පාලනයකින් තොර තත්ත්වයට මෙවැනි වාතාවරණයක පත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි කරුණකි.
විශේෂයෙන්ම එක්සත්ජාතීන්ගේ ජනගහන අරමුදල දක්වන පිරිදි අඩු ආදායම් හා මැදි ආදායම් රටවල් 144ක කාන්තාවන් මිලියන 47කට පමණ නවීන උපත්පාලන ක්‍රම වෙත පිවිසීමට මෙම ලොක්ඩවුන් කාලසීමාව තුළ නොහැකි වී තිබේ. තවද එක්සත්ජාතීන්ගේ ළමා අරමුදල පවසන පරිදි කොවිඩ් 19 ගෝලීය ආපදාවක් ලෙසට ප්‍රකාශ කළ දිනෙන් පසු එළඹෙන ඉදිරි මාස 09කට ආසන්න කාලය තුළ බිළිදුන් කෝටි 12කට අධික ප්‍රමාණයක් උපත ලබනු ඇත. එයිනුත් දකුණු ආසියාතික කලාපයේ බිළිදුන් ලක්ෂ 49ක් පමණ ඉපදෙනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් පවසයි. 
එබැවින් අත දරුවන් සිටින බොහෝ මව්වරු යළි ගැබ්ගැනීම, එතුළින් අනාගත සමාජ ප්‍රශ්න, රැකියා ප්‍රශ්න රැසක් ඇතිවීම, ඇතැම්විට දරුවන් තැන තැන දමා පළා යාම, ගබ්සා වැඩිවීම, උපන් අලුත බිළිදුන් මරා හැංගීම, මව්වරු සියදිවි නසා ගැනීම, තවදුරටත් දරුවන් බලාපොරොත්තු නොවූ මව්වරු ගැබ් ගැනීම, ඇතැම් පවුල් ප්‍රශ්න හා දරුවන්ගේ ඔඩුදුවන ප්‍රශ්න තිබූ පවුල් තුළ නැවත හදිසි ගැබ්ගැනීම් වැනි සමාජ අර්බූදකාරී පසුබිමක් ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි බවට පුරෝකථන කළ හැකිය.
තවද මානසික රෝගී තත්ත්වයෙන් සිටි කාන්තාවන් ගැබ්ගැනීම, පාසල් දියණිවරුන් (අඩු වයස්) ගැබ් ගැනීම, හා මෙවැනි තත්ත්වයන්ට දිගින් දිගටම මානසික උපදේශන අවශ්‍යවීම, සියදිවි හානිකරගැනීම් බහුලවීම, ළදරු මරණ වැඩිවීම, පෝෂණ ඌනතා වැනි තත්ත්ව ඉදිරියේදී මීට සමගාමීව ඇතිවිය හැකි අතර, සමාජය තුළ වර්ධනය වන මෙම අර්බුදය පිළිබදව සාධාරණ විසදුම් අනාගන සංවර්ධන සැළසුම්කරුවන් විසින් දැන් දැන්ම සෙවීමට පටන්ගත යුතුය.



ගර්භනී මව්වරුන් මුහුණදුන් ඒකාකාරී ජීවන රටාව 

නිවසටම කොටුවී සිටින්නට සිදුවීමත්, කොවිඩ් 19 විෂබීජ සමාජ ව්‍යාප්තියත් යන කරුණු හේතුවෙන් ගර්භනී මව්වරුන්ටද ඒකාකාරී ජීවන රටාවකට අකමැත්තෙන් වුවද හුරුවීමට මෙම කාලයේදී සිදුවිය. සාමාන්‍යයෙන් අප රටේ සංස්කෘතිය අනුව හැඩ ගැසුණු රටාවක් සහිත ගර්භනී අවධියක් ගත කළ අපේ මව්වරු සතියකට වතාවක් හෝ බෝධිපූජාවක් තැබීමට පන්සල් ගියහ. ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන්නට අඩුම තරමේ ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවසකට හෝ ගියහ. තවද සතියකට දෙකකට වරක් වෛද්‍ය සායනවලට සහභාගී වූහ. නිවසටම කොටුවීමට සිදුවීමෙන් මේ සියල්ල නතරවී ඒකාකාරී ජීවන රටාවක් ගතකරන්නට ඔවුන්ට සිදුවූ අතර, එය ගර්භනී සමයේ ඉතාමත් අපහසු තත්ත්වයකි.
මවගේ ශරීරය තුළ ඇතිවන හෝමෝන ක්‍රියාවලියේ උඩුයටිකුරු වෙනස්වීමක් සිදුවන්නේ මෙම ගර්භනී සමයේය. ආහාර අරුචිය, මළබද්ධය, නිතර වමනය, ක්ලාන්ත ගතිය, හන්දිපත් ඉදිමීම වැනි ශාරීරික හා මානසික රෝග සමුදායකින් ගර්භනී සමයේ කාන්තාව පීඩා විදින්නීය. මෙම සියලූම පීඩනවලට ඇය විසදුම සොයනුයේ පරිසරය තරමක් හෝ වෙනස් කිරීමෙනි. 
පසුගිය දිනෙක එක්තරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක අප වෙත දැනුම්දුන් පරිදි ගැබිනි මවකට ඇයගේ සැමියා පහරදී ඇත. එයට හේතුව ගැබිනි මව සිය සැමියා සමග එකට එක කියාගනිමින්, සැමියාගේ වැරදි සොයමින් ඔහු සමග නිරන්තරයෙන් ආරවුල් ඇති කරගැනීමයි. මෙය එක් උදාහරණයක් පමණි. නිවසටම වී සිටින්නට සිදුවීම හේතුවෙන් හා වෛරස භීතිකාව යන කරුණු හේතුකොටගෙන සමාජය වෙත අවෘතව ගැබිනි මවට නිවාස අඩස්සියේ සිටින්නට සිදුවීම පසුකාලීනව බරපතල මානසික අර්බූදයක් වනු නොඅනුමානය. එබැවින් ලොක්ඩවුන් සමය තුළ ගර්භනී මව්වරුන් මුහුණදුන් මෙම ගැටලු සහගත තත්ත්වයේ අහිතකර ප්‍රතිඵල ලැබෙනුයේ අද හෙට නොව, තවත් කාලයක් ගෙවී ගිය තැනය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා දික්කසාද

පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී ගිනිකෙළි හදිසි අනතුරුවලට වඩා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බිරින්දෑවරුන්ට සිදුවූ අනතුරු ප්‍රමාණය අධික බව කොළඹ ජාතික රෝහලෙන් වාර්තා විය.
ස්වාමි භාර්යා අන්‍යෝන්‍ය සමීපත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී පවුල් ඒකකය පිළිබදව මනෝවිද්‍යාවේදී කෙසේ සාකච්ඡා කළද අහේතුවාදී පදනම මත ස්වාමි භාර්යා ගැටලු ඇතිවීම වැළැක්විය නොහැකිය. එම ගැටුම්වලට ප්‍රධානතම හේතුව එකිනෙකාගේ සිතුවිලිවල ස්වභාවයයි. 
කෙසේ නමුත් දෙන්න දෙමහල්ලෝ දුරස්ථව, කාර්යබහුලව ගතකිරීම නිසාම සාර්ථකව තිබූ පවුල් ජීවිත එම දුරස්ථභාවය හා කාර්යබහුලත්වයෙන් මිදී පවුල තුළම කොටුවීම සිදුවිය. දුරින් සිටියදී නොපෙනුනු වැරදි අඩුපාඩු, කාර්යබහුලත්වය නිසාම ගණනකට නොගත් පෞද්ගලික දිශානතීන් හා චර්යාරටා මෙම ලොක්ඩවුන් කාලය තුළ දෙදෙනාටම එකිනෙකා කෙරෙන් නිරීක්ෂණය වන්නට විය. ඇතැම්විට බොහෝ යුවළ විවාහයෙන් පසු නිවසේ මෙලෙස සමීපව රැදීසිටින්නේ ප්‍රථම වතාවට වන්නටද පිළිවන. ස්වාමියාගේ අධික බීමත්කම බිරිදගේ කනස්සල්ලට හේතුවන්නට වූ අතර, ඇතැම් ස්වාමිවරුන්ට බීමත්කමින් තොරව එදිනෙදා සාමාන්‍ය ජීවිතයට මුහුණදීමට ඇති අපහසුතාද නිරීක්ෂණය විය. 
තවද කාර්යාලවල පවත්වාගෙන ගිය අනියම් සබදතා හිටි අඩියේම නතරවීම, අනෙකුත් රහස්‍ය සමාජ මාධ්‍ය හා දුරකථන සම්බන්ධතා ඇණහිටීමද සිදුවිය. එසේම දරුවන් නොසිටින්නට ගිලිහී වැගිරෙන්නට තිබූ නාමික පවුල් තුළ මෙන්ම එදිනෙදා සෙනෙහෙ, සතුට දෝරෙ ගැලූ පවුල් තුළ පවා අඩු වැඩි ලෙස සුළු හෝ වශයෙන් දෙන්න දෙමහල්ලන්ගේ අඩදබර මේ සමයේ නොවුනානම් ඒ එහෙමත් පවුලකය.
එමෙන්ම කාර්යබහුලත්වය හා දුරස්ථභාවය හේතුවෙන් පාලනයවී තිබූ ලිංගික අවශ්‍යතා පවා මෙම ලොක්ඩවුන් කාලය තුළ අනපේක්ෂිත ලෙසින් වෙනස්වන්නට සිදුවිය. දෙදෙනාගේ පෞද්ගලිකත්වය දෙදෙනා ඉදිරියේ කාලයකට පසුව සැබෑලෙස සංවෘතවීමද සිදුවූ අතර, නිවසේ ආර්ථික පරිපාලන ගැටලු, රැකියාවේ ඇතිවූ ගැටලු හා කාලයක් මුළුල්ලේ පවුල තුළ ටිකෙන් ටික දුරදිග යමින් තිබූ යම් යම් ප්‍රශ්න පුපුරා දැල්වෙන්නට වීම වැනි ප්‍රශ්න මෙසමයෙහි වර්ධනය වීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ප්‍රධාන හේතු බවට පත්විය. මේ හේතුවෙන්ම ඉදිරියේදී පැවතියාටත් වඩා ඉහළ ප්‍රතිශතයකින් දික්කසාද නඩු වාර්තාවීමද වැළැක්විය නොහැකි වනු ඇත.

විෂබීජ භීතිකාව (Mikrophobia)

මෙම තත්ත්වයද කොරෝනා සමය තුළ බෙහෙවින් උද්ගතවූ සමාජ අර්බූදයක් බවට පත්ව තිබේ. දින 21ට වැඩි කාලයක් කිසියම් පුද්ගලයෙකු එකම කාර්යය දිගින් දිගටම සිදුකිරීම හේතුවෙන් එය පුරුද්දක් බවට පත්වන බව මනෝවිද්‍යාවේ ඉගැන්වීමයි.  එබැවින් කොවිඩ් වෛරසීය තත්ත්වයට ඇතිවන භීතිකාව හේතුවෙන් ආහාර ගැනීම, අනවශ්‍ය ස්පර්ශය, සමාජගතවීමට ඇති බිය, පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඇති බිය, මුව, නාසය බාහිර පරිසරයට නිරාවරණය කිරීමට ඇති බිය වැනි විෂබීජ භීතිකාවෙන් යුතු බාල මහලු ඕනෑම මට්ටමක පිරිස් ඉදිරියේදී සමාජය තුළින් වාර්තාවිය හැකි අතර, මනෝවිද්‍යා උපදේශනයේදී හා සමාජ සේවා සැපයීමේදී පාසල් දරුවන්ට හා අනෙකුත් සාමාන්‍ය ජනතාවට විශේෂිත වූ වැඩසටහන් මෙම නිර්ණායක මත පදනම්ව සැකසීමේ කාලීන අවශ්‍යතාවද අප ඉදිරියේ ඇති තවත් අභියෝගයකි.

පශ්චාද් ව්‍යසන ක්ලමත අක්‍රමිකතාව (PTSD)

මෙම මානසික අක්‍රමිකතාවට ගොදුරුවන කොටස් කිහිපයක් ඇත. ඒ අනුව ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණදී කුමන ආකාරයකින් හෝ දිවි ගලවා ගත් පිරිස, යම් ව්‍යසනයක් ඇසින් දුටු පිරිස, ව්‍යසනයකට මුහුණ දුන් කෙනෙකුට හෝ පිරිසකට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වූ පිරිස මෙන්ම සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැකිය.
කෙසේ නමුත් මෙම අක්‍රමිකතාව හේතුවෙන් ජීවිත ආශාව ක්‍රමයෙන් හීනවීම, කලින් සතුටක් විදි යම් අත්දැකීමකින් දැන් සතුටක් නොලැබීම මෙන්ම පුද්ගලයාගේ චිත්තවේග සිදීයාම, උදාහරණ ලෙස ආදරණීය බව, කාරුණික බව, ලිංගික ආශාව වැනි දෑ හීනවිය හැකිය. තවද අනාගතය පිළිබද පවතින බලාපොරොත්තු විරහිතභාවය, සබැදියාවන් හීනවී විබැදියාවන් (Detachment) ඇතිවීම, එනම් පොඩිදේටත් තරහ යාම, තම බිරිද, ස්වාමියා, දරුවන් සමග සබදතා අවමවීම, නිතරම දරුවන්ට බැණවැදීම වැනි දෑය. එසේම දරුණු ලෙස හීන පෙනීම, හීනෙන් බියවී කෑ ගසාගෙන දිවීම, පුද්ගලයා අනවශ්‍ය ලෙස ප්‍ර වේසම්වීමට උත්සහ කිරීම, ඉක්මන් කෝපය වැනි රෝග ලක්ෂණ මෙම අක්‍රමිකතාව වැළදීම තුළින් දැකිය හැකිය.
තවද PTSD තත්ත්වය ඇතිවීම සදහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක්ද වේ. එනම් අදාළ ව්‍යසනයට මුහුණපා සිටි කාලය, ව්‍යසනයේ ප්‍රභලත්වය තුළින් පුද්ගලයාට එල්ල වූ මානසික පීඩනයේ ප්‍රභලතාව මෙන්ම ව්‍යසනයේ ස්වාභාවයද මේ රෝගය සදහා බලපානු ලැබේ.
විශේෂයෙන්ම මෙම අක්‍රමිකතාව ඇතිවීමට අදාළ සියලු සිද්ධි සිදුවී වසර 05ක් 10ක් අතර කාලයෙන් පසුව මෙහි රෝග ලක්ෂණ මතුවන අතර, ඇතැම්විට බලපෑමේ ප්‍රභලතාව මත මසක් ඇතුළත වුවද ඇතිවිය හැකිය.
කොරෝනා සමය ක්‍රමයෙන් පහවයාමෙන් පසු මෙම අක්‍රමිකතාව ලෝකය පුරා පුද්ගලයින්ට ඇතිවීමේ බොහෝ ඉඩකඩක් ඇති බව මනෝවිද්‍යාඥයින්ගේ මතයයි. විශේෂයෙන්ම විදෙස් රටවල සිට කොරෝනා වෛරසයේ අති දරුණුතම බලපෑම සියැසින් දුටු, එය අත්විද මෙරටට පැමිණි පිරිස්වලට, IDH වැනි රෝහල්වල කාර්යමණ්ඩලවලට, නිරෝධායන මධ්‍යස්ථානවල ගතකළ පිරිස් හා ඒවායේ කාර්යමණ්ඩලවලට, මෙන්ම මාධ්‍ය ආයතනවල සාමාජිකයින් වැනි පිරිස්වලට මෙම PTSD බලපෑම ඇතිවීමේ බොහෝ ඉඩකඩක් ඇති අතර, ඉදිරි සංවර්ධන සැළසුම් සැකසීමේදී ඒ ඔස්සේද සිතා බැලිය යුතුය.

ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාව (OCD)

විශේෂයෙන්ම අද වනවිට අත සේදීම, පිරිසිදුවීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම, අත් ආවරණ, මුව ආවරණ පැළදීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පුද්ගලයින් විසින් බහුලව භාවිත කිරීම සමාජගතවී තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම කොරෝනා තත්ත්වය පහව ගිය පසුද හේතුවක් නොමැතිව අනවශ්‍ය අයුරින් සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා පිරිසිදුභාවය පිළිබදව පරීක්ෂා කර බලන්නේනම්, එම නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට දිගු වේලාවක් ගතකරමින්, ජීවිතය පීඩාවට පත්කරගන්නේනම් මෙන්ම හේතුවක් රහිතව ඇතිවන අනවශ්‍ය කරදරකාරී සිතුවිලිවලින් තමන්ට මිදෙන්නට අවශ්‍ය නමුත් මිදීමට අපහසුතාවක් ඇතිවන්නේනම් OCD සදහා ප්‍රතිකර්ම ලබාගත යුතුය.
ඒ අනුව මෙම කොවිඩ් වෛරසීය බලපැම හේතුවෙන් පුද්ගලයා තුළ මෙම අක්‍රමිකතාව උද්ගතවීමටද ඉදිරියේදී බොහෝ ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබදවද පූර්ණ අවධානයක් යොමුවිය යුතුව ඇත.

විභාග මානසික අධ්‍යාපනය, ළමා ආරක්ෂාව සහ ළමා අපයෝජන

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන පරිදි සමාජයේ මෙතෙක් පැවති තත්ත්වයට වඩා මෙම කොරෝනා පසුබිම තුළ ළමා අපයෝජන 40%ක ප්‍රමාණයකින් වර්ධනය වියහැකිය. එයට හේතුව මෙම සමය තුළ දරුවන්ට සිය නිවස ආශ්‍රිතව, සිදුවීමට තිබෙන අපයෝජන ඉතාමත් බහුල වීමට ඉඩ ඇති හෙයිනි. 
කෙසේ නමුත් අප රටේ සමස්ත පාසල් අධ්‍යාපන පද්ධතිය හුදු ආත්මාර්ථය පිණිසම නිර්මාණය කර ඇති පසුබිමක, එම ක්‍රමය විසින්ම ළමයාව මානසිකව අපයෝජනයට ලක්කර තිබේ. විභාග මානසිකත්වය සහිත දරුවා මෙම ලොක්ඩවුන් සමය තුළ බරපතල අයුරින් අපේක්ෂා භංගත්වයකට පත්වීමද ප්‍රධාන සමාජ අර්බූදයකි. 
අප ජීවත්වන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ජනප්‍රිය පාසලකට ඇතුළත්වීමේ සිහිනය කුඩාකල පටන්ම දරුවාගේ මනසට කවා ඇති සමාජයකය. එමෙන්ම සා.පෙළ හා උ.පෙළ සදහා A ඉලක්ක සොයමින්, ළමාවිය පසෙකලා ටියුෂන් පසුපස හැල්මේ දුවන්නට පාසල් දරුවන්ට හුරුකළ සමාජයකය. තවද එම බලාපොරොත්තු කඩවූ පසු සියදිවි නසාගන්නා දරුවන් සිටින සමාජයකය. 
එබැවින් පාසල් කවදා කෙසේ විවෘත වේවිද? විභාගවල සංශෝධන රහිතව පෙර පැවති ආකාරයෙන්ම පවත්වාවිද? එසේ වුවහොත් ආවරණය නොවූ විෂය නිර්දේශ ළහි ළහියේ කෙසේනම් ආවරණය කරම්ද? එසේම තමන් වසර ගණනාවක් තබා සිටි ප්‍රතිඵල බලාපොරොත්තුවලට කුමක් සිදුවේද? යන දෙදරාගිය මානසික මට්ටමකින් මේ වනවිට සමස්ත පාසල් දරුදැරියෝ කල් අරිති. 
විශේෂයෙන්ම නිවෙස්වලට කොටුවී මිතුරු ඇසුරෙන්, සමවයස් ඇසුරෙන් දුරස්ථව දෙමාපියන්ගේ මානසික බලපෑම් මැද ගතකළ ජීවිතය අදවනතුරුද යථා තත්ත්වයට පත්ව නොමැත. එවන් පසුබිමක අගෝස්තු, දෙසැම්බර් විභාග මාස ළග ළගම පැමිණෙමින් තිබේ. 
රටේ ජනප්‍රිය පාසල්වල හා තරමක් පහසුකම් තිබෙන පාසල්වල ගුරුවරු ඔන්ලයින් පාඩම් උගන්වති. එසේම  ජනමාධ්‍ය විසින් දරුවන්ට යම් මට්ටමක පාඩම් ආවරණ සේවාවක් සිදුකරයි. නමුත් මේ කිසිවක්ම ග්‍රහණය නොවන, ඔන්ලයින් වීමට තබා එදාවේල කෑමට නොමැතිව දුක්විදින මෙම කිසිවකට සම්බන්ධවීමට නොහැකි වූ දරුවන් බොහෝ ප්‍රමාණයක් සිටින බවට අප සතුව සාක්ෂි තිබේ. එවන් පසුබිකමක පාසල් දරුවන් ඉදිරියේ ඇති ප්‍රශ්නය වනුයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ ප්‍රධාන විභාගවල ස්වරූපය කෙබදුවේද යන්න පිළිබදවයි.
එබැවින් දරුවාගේ මානසිකත්වය පිළිබදව සානුකම්පිතව සලකා බලා නිර්මාණශීලී ප්‍රවේශයක් ඔස්සේ 2020 රජයේ පාසල් විභාග පැවැත්විය යුතුය. දරුවාගේ නිදහස් චින්තන අවකාශය පුළුල් වන ආකාරයේ ප්‍රශ්නපත්‍ර මාදිලියක් සකස්කොට ප්‍රායෝගීක මට්ටමේ හා නිර්මාණශීලී අවකාශය විවෘත වන මට්ටමේ විභාග රටාවක් මෙවර අනිවාර්යයෙන්ම සකස්විය යුතුය.
එපමණක් නොව එම රටාව පිළිබදව පූර්ව ප්‍රචාරණයක් ලබාදීමද ඉතාමත් වැදගත්වනු ඇත. එවිට බොහෝ බෙදීම් සහිත අපේ පාසල් පද්ධතියේ සමස්ත දරුවන්ටම එක හා සමාන සාධාරණයක් ඉෂ්ට කළ හැකිය.
එසේ නොවුවහොත් පෙර පැවතියාටත් වඩා සියදිවි නසා ගැනීම්, විභාග භීතිකා, කාංසා තත්ත්ව, ආතති, විෂාදීය තත්ත්ව පාසල් දරුවන්ට ඉදිරි කාලය තුළ ඇතිවීම වැළැක්විය නොහැකිය. මෙම ගැටලු සදහා පූර්ව සූදානමක් වශයෙන් පාසල් උපදේශනය, සමාජ සේවා, ළමා ආරක්ෂක රාජකාරී හා රසවින්දන වැඩසටහන් වැනි සේවා පුළුල් වශයෙන් පාසල් තුළ ඉදිරියේදී ඇතිවිය යුතු අතර, යළි පාසල් විවෘත කිරීමෙන් පසුව දරුවන්ව පංති කාමර තුළටම කොටු නොකොට, පරිසර කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබාදීමටද රටේ ගුරු ප්‍රජාව දැන් දැන්ම සන්නද්ධ කළ යුතුව ඇත. 
හුදෙක් විභාග පැවැත්වීම, සාමාර්ථ ගණනය කිරීම, අගය කරමින් බැනර් එල්ලීම, තම පාසලේ ප්‍රතිඵල අනෙක් පාසල්වලට වඩා අභිභවා යාම වැනි ඔද්දල්වූ මානසිකත්වයෙන් බැහැරව බලධාරීන් කටයුතු කිරීම අනිවාර්ය අතර, එසේ නොවුවහොත් රටේ දරුවන්ගේ අනාගත ඉරණම තව තවත් කනගාටුදායක වනු නොඅනුමානය.

සමාජ මාධ්‍ය නැඹුරුව හා සයිබර් අපරාධ

කොරෝනා වසංගත ව්‍යාප්තියට පෙර වැඩිහිටියන් විසින් රකුසෙකු ලෙස දරුවන් ඉදිරියේ මවා පෙන්වූ අන්තර්ජාලය, අද වනවිට බාල මහලු කොයි කාගේත් නැතුවම බැරි මිතුරා බවට පත්වී ඇත. එදා අන්තර්ජාලය කොන්දේසි මධ්‍යයේ, සීමා සහිතව භාවිත කළ පාසල් දරුවා අද වනවිට ගෝලීය අවසරයක් සහිතව අන්තර්ජාල නිදහස හිමිකරගෙන තිබේ. ඇතැම් දෙමව්පියන් රජයෙන් ලද රු.5000 එකතුකොට එයට තවත් ගාණක් දමා තම පාසල් දරුවාට ස්මාර්ට් දුරකථන මිලදීගෙන දුන් අවස්ථාද අපට නිරීක්ෂණය විය. සරලවම කිවහොත් දරුවාට වඩා අන්තර්ජාලය අදවනවිට අවශ්‍යව ඇත්තේ දරුවාගේ අනාගත සුභසිද්ධිය මුළු හදින්ම පතන දෙමාපියන්ටය.
මෑත කාලීන අප රටේ බරපතල අයුරින් වර්ධනය වූ ළමා අපයෝජන රැල්ලේ ප්‍රධාන හේතුකාරකය වන්නේද අන්තර්ජාලයයි. සයිබර් අපරාධ වශයෙන් හදුන්වන මේ යටතේ ළමා අසභ්‍ය දර්ශන, ප්‍රතිරූපක මිත්‍රත්වය, සයිබර් බුලින් හා සයිබර් ස්ටොල්කින් මෙන්ම කාමුක පණිවුඩ වැනි බරපතල අපයෝජන රැසක් සිදුවිය හැකිය. මේවා ළමුන් විසින් මෙන්ම ළමා ලෝලී කාමුක pedophilia වැඩිහිටියන් විසින්ද වෙනදාට සාපේක්ෂව ඉතාමත් වර්ධනීය මට්ටමකින් සිදුකරනු ලබන බැව් දැන් දැන් ලැබෙන විවිධ පුවත් ඔස්සේ අපට තහවුරු වේ. එසේ හෙයින් කොරෝනා සමග නැගිටින රටේ ළමා පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් අන්තර්ජාලයද රැකගෙන එහි නිවැරදි භාවිතාව සමාජගත කිරීම සදහා අදට වඩා වැඩි උනන්දුවකින් සංවර්ධන යෝජනා හෙට වෙනුවෙන් සකස්විය යුතුමය. 

විදේශ ශ්‍රමිකයින්ගේ පවුල් ආශ්‍රිත ප්‍රශ්න

මෙරටේ කරකියාගත නොහැකි කිසිදු ජීවනෝපායක් නොවූ තැන තම පවුලේ අනාගතය වෙනුවෙන් විදෙස්ගත වූ අප රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදකයින් වන පිරිස්වලට මෙම කොරෝනා ගැටලුව හේතුවෙන් උද්ගතවූයේ කිසිදා නොසිතූ නොවිරූ අර්බූදයකි. ඒජන්සි, බැංකු, ක්ෂුද්‍ර මුල්‍ය වැනි ආයතනවලට ණයවී ගෙවාගැනීමට නොහැකි වූ තැන විදෙස්ගතවූ අපේ කාන්තාවන්ගේ පවුල්වල අද තත්ත්වය ඉතාමත් ශෝචනීයය.
විශේෂයෙන්ම වතුකරය ආශ්‍රිත ප්‍රජාවගෙන් සැලකිය යුතු බහුතරයක් කාන්තාවන් විදෙස්ගතවූ පිරිස්ය. ස්වාමිවරු රැකියා නොකරති. මව පිටරට සිට එවන මුදලින් තම අධ්‍යාපන කටයුතු සිදුකරගත් දරුවන් අපමණය. මෙම ගෝලීය වසංගතය නිසාවෙන් බොහෝ විදෙස්ගත කාන්තාවන් ප්‍රමාණයක් යළි මෙරටට පැමිණෙමින් සිටිති. බැංකු ප්‍රශ්න, මෙරට තුළ රැකියා අවස්ථා සොයාගැනීමේ ගැටලු, සෞඛ්‍ය ප්‍රශ්න, දරුවන්ගේ සියලු ගැටලු වැනි සංකීර්ණ ප්‍රශ්න ඔවුන් ඉදිරියේ ඇත. එබැවින් සියදිවි නසාගැනීම්, දරුවන්ව පරිවාසගතකිරීම්, දරුවන්ගේ අධ්‍යාපනය අතරමග බිදවැටීම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළයාම, මිණී මැරුම් වැනි බරපතල ආකාරයේ සමාජ ගැටලු රැසක්ම අනාගතයේ ශීඝ්‍ර ලෙස පැතිරයා හැකිය. 
එසේ හෙයින් හුදෙක් දේශපාලනික අරමුණු යටතේ ආධාර බෙදාදීම්වලින් පරිබාහිරව මෙම පිරිස්වලට තම දෙපයින් ස්වාධීනව නැගීසිටීමේ ප්‍රායෝගික සංවර්ධන වැඩසටහන් අප රටේ අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුමය.

කුටුම්භ තුළ අන්තර් පරම්පරා ගැටුම

අප රටේ විසෘත පවුල විභේදනය වී න්‍යෂ්ටික පවුල බහුතර වශයෙන් ව්‍යාප්තව පැවතියද සැලකිය යුතු ප්‍රමාණයක විසෘත පවුල් ඒකක ප්‍රතිශතයක්ද පවතී. කොරෝනා සමග ලොක්ඩවුන් සංස්කෘතිය ගෙවීමේදී එවැනි විසෘත පවුල් තුළ ඇති වූ සීයා ආච්චී, අම්ම තාත්තා සහ මුණුපුරා මිණිපිරී යන පරම්පරා ගැටුමක්ද අපට නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම වෙනදාට සාපේක්ෂව නිවසේ රැදීසිටීමේ කාලය ඉහළ යාමත් සමග මෙම ගැටුම වැඩි වශයෙන් ඇතිවී තිබෙන අයුරු පෙනී යයි. 
නමුත් පරම්පරා අන්‍යවබෝධය නොමැති වූවිට බරපතල අයුරින් නිවසේ සමගිය බිදවැටී ඇතැම්විට සීයා, ආච්චී මෙම පවුල් තුළින් විසිවී යාමටද ඉදිරියේදී බොහෝ ඉඩකඩ නිර්මාණයවී තිබේ. දෙමාපියන් තම දරුවන්ගේ පාර්ශ්වය ගැනීම හේතුවෙන් සීයා, ආච්චී විරසකවීමත්, දෙමාපියන් තම මව්පියවරුන්ගේ පාර්ශ්වය ගැනීමෙන් දූදරුවන් මානසික පීඩනයකට පත්වීමත් මෙම පරම්පරා ගැටුමෙන් ඇතිවිය හැකි බරපතල අර්බූදයයි. එසේ හෙයින් මෙම ගැටලු සදහාද ඉදිරි සමාජ සංවර්ධන සැළසුම් සකස්විය යුතුය.
කොරෝනා සදහා නොබෝ දිනකදීම එන්නතක් සොයාගනු ඇතැයි පුරෝකථන කළ හැකි නමුදු මිනිසාගේ සතුට මැනීම සදහා කිසිදු දිනෙක මිනුම්දණ්ඩක් සොයාගත නොහැකිවනු ඇත. එබැවින් සතුට තීරණය වනුයේ ඒ ඒ මිනිසා තම ජීවිතය දෙස බලන ආකාරයෙනි. තමන් ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණදෙන ආකාරයෙනි.
නමුත් කොරෝනා හේතුවෙන් වර්ධනය වූ මෙවැනි සමාජ ගැටලු සියල්ලකටම පාහේ ලබාදිය හැකි උපදේශනය හා මගපෙන්වීම ඉතාමත් වැදගත්ය. එමෙන්ම මෙම ගැටලුවලට නිර්මාණශීලී, ප්‍රායෝගික තලයේ සංවර්ධන වැඩසටහන් රාජ්‍ය-පෞද්ගලික අංශ භේදයකින් තොරව සකස්විය යුතුය. ඒ මන්දයත් වෛරසයකට වෛද්‍ය විද්‍යාත්මක විසදුමක් ලබාදිය හැකි නමුදු ඒ හේතුවෙන් උද්ගතවූ සමාජ ප්‍රශ්න සදහා විසදුම් සෙවීම එක් අංශයක පමණක් වගකීමක් නොවන නිසාවෙනි. එබැවින් රට යළි නැගිටිය යුත්තේ සමාජ සංවර්ධන ක්ෂේත්‍ර වෙතද ප්‍රළුල් අවධානයක් ලබාදෙමිනි. 

කසුන් සී. තිලකරත්න

(2020.06.11 අරුණ පුවත්පත )


Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)