සමකාලීන සමාජ අර්බූද ඉදිරියේ පුද්ගලයාගේ හෘද සාක්ෂිය



‘උගත්, ප්‍රජාතාන්ත්‍රික පුරවැසියන් වීමට නම් ඔවුන් ජාතික හා ලෝක පරිමාණ  අදාළත්වයකින් යුතු වූ ද පළල් කලාපයක විහිදුණා වූ ද ප්‍රශ්න සමුදායක් ගැන හොඳින් සිතන හෝ ඒ සම්බන්ධ හොඳ තෝරා ගැනීම් කරන පිරිසක් විය යුතුය...ඉතා ඉක්මනින් විවිධාකාරයේ උස්පහත් භේද හා ධුරාවලීන්ටත්, ඊටත් වඩා දරුණු වී කණ්ඩායම් අතර පසමිතුරු බවේ හිංසක ව්‍යාප්තිවලටත් මිනිසා ඇද දමන යමක් මිනිස් ජීවිතයේ තිබේද? තිබේනම් ඒ කුමක්ද? පාලනය හා ආධිපත්‍ය සොයන්නන් බවට බලය ඇති කණ්ඩායම් පත්කරන බලවේග මොනවාද? සෑම තැනකම පාහේ සුළුතර මනුෂ්‍යයන් අපකීර්තියට පත් කිරීමටත්, ඔවුන්ට කැළල් කිරීමටත් බහුතර මනුෂ්‍යන් යොමු කරන බලවේගය කුමක්ද? මේ බලවේග මොනවා වුවත් අවසානයේ දී වගකීම් සහගත ජාතික හා ගෝලීය පුරවැසිභාවය සඳහා වන අධ්‍යාපනය, සටන් කළ යුත්තේ ඒ බලවේග සමගය.’

- මාතා නස්බෝම් - 

මිනිසෙකු ලෙස උපත ලැබීම පිළිබඳව මිනිසුන් වශයෙන් අප නිරන්තරයෙන් සතුටු වන්නෙමු. එමෙන්ම මිනිසා විසින්ම මිනිසා වෙත විවිධ නිර්වචන සපයමින් මානව කේන්ද්‍රීය වූ ලෝකයක් ගොඩනගමින් ජීවත් වන්නෙමු. නමුත් සමකාලීන සමාජය තුළ අපගේ ඇස් පනාපිටම මනුෂ්‍යා මනුෂ්‍යාටත් එමෙන්ම ඔහු සමාජයටත් අහිමිවෙමින් පවතින බවක් නොපෙනේයැයි කිව හැක්කේ කාටද?

සෑම සමාජ ඒකකයකම සාපේක්ෂ වශයෙන් බිඳවැටීම් 

සමාජය තුළ අප නිරූපණය කරන බොහෝ භූමිකා හෘද සාක්ෂියට එකඟව සිය භූමිකාව නියෝජනය කරන්නේද? ගුරුවරු සැබෑම ගුරුවරුද? මාධ්‍යවේදීන්, දේශපාලනඥයින්, ආගමික නායකයින්, කලාකරුවන්, රියදුරන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනාදී එකී නොකී සියලු භූමිකා එම භූමිකාවේ සැබෑ නියෝජනයන්ද? ඔවුන් සැබෑ නියෝජිතවරුනම් අද්‍යතන සමාජය මෙලෙස වෛරයේ, කෘරත්වයේ සංස්කෘතියකට අවතීර්ණ වී සිටින්නේ මන්ද? ප්‍රශ්නය කොතැනද? කාගේද? සියල්ලටම ගැලවුම පාර්ලිමේන්තුවේ 225 දෙනාට ඇඟිල්ල දිගු කිරීම තුළින් පමණක්ම විසඳිය හැකිද? පුරවැසියන් වශයෙන්, තනි තනි පුද්ගලයින් වශයෙන් අපට කිසියම් සමාජයීය වගකීමක් නොමැතිද? පවතින්නේනම් අපගේ එම වගකීම්සහගතභාවයේ තීව්‍රතාව කෙබඳුද? මෙම සමාජය තුළ මෙලෙස ඔඩුදුවන බලකාමීත්වය, කෘරත්වය, අසාධාරණය වැනි සමාජ නිශේධනීය ධර්මතාවන්ට හේතුව කුමක්ද?  

බලන්න සමාජය දෙස! පාසල් සිසු සිසුවියෝ ගහ ඇණ මරා ගනිති. තම කිරිකැටි දියණිය සමග පියවරු අඹු සැමියන් ලෙස හැසිරෙති. මව්වරු දරු පැටව් පණපිටින් වළලති. එක් පක්ෂයකින් කිසියම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජන බලය ලබාගත් පාලකයා සිය බලය හා ධනය වෙනුවෙන් ජනතා අපේක්ෂා පාවා දෙති. දුයිෂෙන්, දිසාපාමොක් වැනි ගුරුවරු ප්‍රාර්ථනා කරන සමාජය තුළ දියණිවරුන් නිරුවත් කරන ගුරුවරු හමුවෙති. සිවුරට, පූජක ලෝගුවට, පූසාරී වේට්ටියට මුවාවී ආගමික දර්ශනය තමන්ගේ සුඛවිහරණයට භාවිත කරන ඕනෑතරම් ආගමික පූජකවරු අප අතර සැරිසරති. එපමණක්ද? සිව්වැනි ආණ්ඩුවේ කාර්යභාරය වෙනුවට අහිංසක ජනතාවගේ කඳුළ, දුක, වේදනාව, රුධිරය රේටින්ග්ස්වලට මාකට් කරන මාධ්‍ය සංස්කෘතියක් විද්‍යුත් මෙන්ම මුද්‍රිතවද සමාජය කෙළෙසති. ජීවක වෛද්‍යවරු වීමට හිපොක්‍රටීස් ප්‍රතිඥාව දිවුරුම්දුන් ඇතැම් වෛද්‍යවරු මනුෂ්‍යත්වය අමතක කරති. රට දැය සුරැකුමට ත්‍රිවිධ හමුදාවට බැඳුන ඇතැම් සෙබළුන් සමාජයේ බොහෝ නිශේධනීය කාරණාවලදී මූලිකත්වය ගෙන ඇති බව අපට පෙනී යයි. නීතිය හා සාමය රැකුමට සිටින පොලිස් නිලධාරීන් සමහරෙක් අල්ලසට, වංචාවට, දූෂණයට උඩගෙඩි දෙති. 

සරලවම කිවහොත් සෑම අනුකුඩා සමාජ ඒකකයක් තුළම, ඒ ඒ ඒකකවල අඩු වැඩි වශයෙන් මානුෂිකත්වය ඉක්මවා ගිය, පරාර්ථකාමීත්වය, සහෝදරත්වය, සාමූහිකත්වය පමණක් නොව අවබෝධයද ඉක්මවා ගිය අමානුෂිකත්වයක් සංසරණය වෙමින් පවතී. 

විවිධ පරම්පරා වෙතින් විවිධ නිර්වචන

මෙවැනි සමාජ නිශේධනීය සිදුවීම් පිළිබඳව සමාජයේ විවිධ පරම්පරා නියෝජිතයෝ විවිධ ප්‍රවේශ ඔස්සේ නිර්වචන සපයති. තම පරම්පරාව සමාජගතවූයේ මෙවැනි සමාජ පසුබිමක් තුළ නොවන බවත්, තමන් තුළ ස්වයං හික්මවීමක්, සහෘදශීලීත්වයක් මෙන්ම සාමූහිකත්වයක් පැවති බවත් එක් පරම්පරාවක් පවසති. තවත් පරම්පරාවක් එය ප්‍රතික්ෂේප කරමින් තම පරම්පරාවට සාපේක්ෂව නිර්වචන ලබාදෙති. ඒ අනුව මෙම සමකාලීන සියලු සිදුවීම් වෙතම ඔබ අප සියලුදෙනාටම අනන්‍ය වූ අපගේම නිර්වචනයක් ඇත. එසේ විවිධාකාරව නිර්වචන ලබාදුන්නද මෙවැනි සිදුවීම් වෙත නිර්වචන ලබාදීමෙන් පමණක්ම අපට සෑහිමකට හැකිද? සමාජය නම්වූ පුළුල් වපසරිය පුරාවට පැතිර තිබෙන සංවිධානයේ කුඩා සාමාජිකයෙකු වන පුද්ගලයාට තනි තනිවම තමන්ගේ සමාජයේ සුඛිත මුදිත භාවය වෙනුවෙන් කැපවිය නොහැකිද? 

ඔබ අප සියලුදෙනාම මෙම සියලූම සමාජ දෙදරායාම් පිළිබඳව අඩු වැඩි වශයෙන් වගකිව යුතු නොවේද? අද්‍යතන මුළුමහත් සමාජයම මරණයේ සංස්කෘතිය වෙත අත වනන විට, ජීවිතයේ සංස්කෘතිය ප්‍රාර්ථනා කරන ඔබට, මට හෘද සාක්ෂිය පසෙක තබා නිහඬව සිටිය හැකිද?

සාධාරණත්වය හා හෘද සාක්ෂිය

අපි විදෙස් රටවල ශීලාචාරීත්ව හා අන්‍ය සහෘදශීලීත්ව පිළිබඳව මහා ගරුත්වයකින්, අධිමානයකින් යුතුව කතා කරමු. අද මෙහෙම වුණාට අපේ රටවල් කොහොම හිටපු රටවල්ද යැයි කියමින් අපේ රට ගැන හීනමානයකින් කල්පනා කරමු. බසයේ යන එනවිට ටොෆිය කටේ දමාගෙන කොළය බසයේ ෂීට් එක අස්සේ සඟවන අපි විදෙස් රටවල පරිසර සංරක්ෂණය පිළිබඳව උපාධි පාඨමාලා පවා හදාරමු. 
ගෙදර ගොඩ ගැහෙන අපේ කුණු මලු ටික මහපාරේ කොනකට විසිකර ඒ කුණු ඇදීමට හා එහි දුර්ගන්ධය විඳීමට තවකෙකුට ඉඩහසර වෙන් කරන අපි, මීතොටමුල්ල වැනි ප්‍රශ්නවලදී ඒ දෙස ආගන්තුකයින් මෙන් හැරී බලමු. මහ පාරේ ජීවන තරඟය ජයගන්නට අනෙක් අයගේ ගමනට හා ජීවිතයටද බාධා කරමින් අපගේ රථය හැල්මේ ධානවය කරවන අපි, අපේ සමාජය ගැන හීනමානයෙන් සිංගප්පූරුව, ජපානය වැනි රටවල අපට නොපෙනෙන සභ්‍යත්ව වෙත මහා උද්ධාමයෙන් ආවඩමු. නමුත් මදකට සිතා බලන්න! අපගෙන් පෙ!ද්ගලිකව සමාජයට සිදුවිය යුතු වගකීම් හා යුතුකම් ඉටුවන්නේ කුමන ආකාරයෙන්ද යන වග. 
සමාජය විසින් සාධාරණත්වයට අනිවාර්යයෙන්ම ගරු කළ යුතුය. සාධාරණය යන කාරණාව සමාජයේ ඕනෑම ප්‍රපංචයක් වෙත අනිවාර්යයෙන්ම අදාළ වන ධර්මතාවකි. ශ්‍රමයට, ආදරයට, ගෙ!රවයට, බැඳීම්වලට, රැකියාවට පමණක් නොව අප විසින් සමාජයේ නිරූපණය කරන සියලූම භූමිකා වෙත සාධාරණයක් තිබිය යුතුය. උදාහරණ ලෙස බස් රථයක මගීන්ට රියදුරාගෙනුත්, කොන්දොස්තරවරයාගෙනුත් සාධාරණය ඉටුවිය යුතු අතර, මගීන් විසින් පෙරළා ඔවුන්ටද සාධාරණය ඉටුවිය යුතුය. දරුවන්ගෙන් තම දෙමාපියන්ටත්, දෙමව්පියන්ගෙන් තම දරුවන්ටත් පමණක් නොව සැමියාගෙන් බිරිඳටත්, බිරිඳගෙන් සැමියාටත් සාධාරණය අත්‍යවශයෙන්ම ඉටුවිය යුතුය. 
ඒ අනුව සාධාරණත්වය යන කාරණාව අන්‍යෝන්‍ය මූලධර්මයකි. එය සමාජයේ විවිධ අඩවි තුළ නිර්ලිඛිතව පවතින හෘද සාක්ෂියේ ක්‍රියාවලියකි. එනම් සමාජ සාධාරණත්වය ක්‍රියාත්මක විය යුත්තේ දඬුවම හෝ අධිකරණයට යටත්ව නොව හෘද සාක්ෂියට අවංකවීමෙනි. තමන් විසින් සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් වෙත සංවේදී වීමෙනි.
නමුත් අප නිරන්තරයෙන්ම සිදුකරනුයේ අර්බූද දෙස අර්බූද මූලිකවම පමණක් බලමින්, සමාජයේ සංවේදී ආස්ථාන මඟහැරීමක් පමණි. අප විසින් යතුර සොයනුයේ යතුර වැටුණු ස්ථානයේ නොව ආලෝකය සහිත ස්ථානයේ පමණි. සමාජයේ සාමූහික විඥානය බිඳවැටී ගොස් මිනිසා හුදෙකලාවීම ආරම්භවී ඇත්තේ එනිසාය. නැණවත් බුද්ධිමත් මානවයා යන අරුතින් අප හෝමෝ සේපියන් ලෙස අරුත් ගැන්වූ විද්‍යාත්මක මිනිසා අද වනවිට හෝමෝ ටෙක්නිකස් හෙවත් තාක්ෂණික මිනිසා බවට පරිවර්තනය වී ඇත. ඒ අනුව  අද්‍යතනයේදී සිදුවන්නේ සමාජ අර්බූද අවම කිරීම වෙනුවට සමාජය නම්වූ සාමූහිකත්වය විනාශකොට හුදෙකලා මිනිසා නිර්මාණය වීමක් පමණි. 

හෘද සාක්ෂිය ඇති කිරීම හා සාමූහික විඥාන සංස්කරණය

මෙම සමාජ අර්බූද අවම කරවමින් සමාජය සංස්කරණය කිරීමේ පූර්ණ බලයක් සමාජයේ සුවිශේෂී භූමිකා කිහිපයක් වෙත අත්‍යවශ්‍යයෙන්ම පැවරෙන බැව් විද්වත්හු පෙන්වා දෙති. ඒ අනුව ගුරුවරයාට අධ්‍යාපන ක්ෂේත්‍රයේදීත්, කලාකරුවාට කලාවේදීත්, මාධ්‍යකරුවාට මාධ්‍යකරණයේදීත් මෙන්ම ආගමික පූජකවරුන්ට ආගමික ක්‍රියාවලියේදීත් පුද්ගලයාගේ සාමූහික විඥානය සංස්කරණය කිරීමේ වගකීම, අනෙකුත් පාර්ශ්වවලට සාපේක්ෂව විශාලය. නමුත් සමකාලීන ශ්‍රී ලාංකේය සමාජය තුළ බරපතල අයුරින් රෝගීභාවයට පත්ව තිබෙනුයේද මෙම භූමිකා කිහිපයයි.  
සමාජයේ අනෙකුත් පාර්ශ්වවලට සාපේක්ෂව ඉහත සමාජ ඒකක වටා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බහුතර පුද්ගල ඒකරාශීත්වයක් දැකිය හැකිය. එනිසාම මෙම අංශ වෙත සමාජ සංශෝධන ක්‍රියාවලියේ අසම සම වගකීමක් අත්‍යන්තයෙන්ම පැවරේ. 
විශේෂයෙන්ම ගුරුවරයාට එහිදී හිමිවනුයේ ඉතාමත් වැදගත් කාර්යභාරයකි. තමන් වෙත පැමිණෙන සියලූම සිසු සිසුවියන් මනුෂ්‍යයින් ලෙස සමාජගත කිරීමේ පළමු වගකීම ගුරුවරයාට ස්වභාවයෙන්ම හිමි වේ. තරඟකාරී විභාග රැල්ළට තම ළමා කාලයේ සුන්දරත්වය යටපත් කර දමා පොතපතේ දැනුමට පමණක් සිත යොමමින් ජීවිතයම තරඟයක් කරගන්නා දරුවෙකු නිර්මාණය කිරීමට වඩා එහා ගිය වගකීමක්, ගුරුවරයෙකුට පැවරේ. එම වගකීම ඇතැම්විට රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා ඉලක්ක වෙතින් ලබා නොදෙන්නක් විය හැකිය. නමුත් සමාජයීය වශයෙන් එම වගකීම ගුරු භූමිකාවෙන් ඉටුවීම අපේක්ෂා කරයි. පොතපතේ හා විෂයානුබද්ධ උගත්කම පමණක් නොව පුද්ගලයෙකුට ජීවිත අත්දැකීම් සහිත බුද්ධිමත්කම අත්‍යන්තයෙන්ම හිමිවිය යුතුමය. 

පාසලකින් හෝ වෙනයම් අධ්‍යාපන ආයතනයකින් කොතරම් උසස් අධ්‍යාපන සුදුසුකම්වලින් පූර්ණ පුද්ගලයෙකු සමාජගත කළද ඔහු හෝ ඇය සතුව ආදරය, සහෘදත්වය හා සාමූහික විඥානය අගයන මනුෂ්‍යත්වය පිරුණු තමාගේම හෘද සාක්ෂියක් නොමැත්තේනම් එම පුද්ගලයාගෙන් සමාජයට ඇති සෙතක් නොමැත. ජපානය හා ෆින්ලන්තය වැනි රටවල් පළමු වන ශ්‍රේණියේ සිට සිව්වන ශ්‍රේණිය දක්වා ළමුන්ට උගන්වන්නේ මිනිසුන් ලෙසින් ජීවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙවැනි තත්ත්වයක් අප රටේ සිදුවීමටනම් විශාල ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. මනුෂ්‍ය විවිධත්වයට ගරු කරන, නොලැබීම් හා අහිමිවීම් උපේක්ෂාවෙන් විඳදරා ගන්නා, තවකෙකුට නොරිදවා ජීවත්විය හැකි මිනිසෙකු පාසලකින් සමාජයට භාර දෙන්නේනම් සමාජයේ හෙට දවස අදට වඩා යහපත්වනු ඇත. අධ්‍යාපනයෙන් ඉගැන්විය යුත්තේ ලාභය ඉපයීමට නොව පුද්ගලයාට තමන්ගේම හෘද සාක්ෂියක් නිර්මාණය කරගැනීමට හා ඒ අනුව කටයුතු කිරීමටය. 

කලාකරුවාටද මේ වෙනුවෙන් පැවරෙනුයේ අසම සම වූ වගකීමකි. අහිමිවීම්වලට හඬා වැළපෙන, පළිගන්නා සමාජයට, කලාවෙන් ඉගැන්විය හැකි පාඩම් බොහෝය. සැබැවින්ම කලාවෙන් සිදුවිය යුත්තේ පුද්ගලයාගේ නෙත පිනවීම නොව විඥානය පිරවීමය. ඕනෑම සමාජයක ලොකු කුඩා බාල මහලු කිසිදු භේදයකින් තොරව කලාකරුවන් වටා එක් රොක් වෙති. සරලව කිවහොත් කලාකරුවෝ යනු බොහෝවිට සමාජයේ පූර්වාදර්ශ චරිතය. ඔවූහු දූෂිතයින් හෝ පරාජය කරනු ලැබූවන් නොවන්නේනම් කිසිදු දෘෂ්ටිවාදයක කොටස්කරුවන් නොවිය යුතුය. 
විශේෂයෙන්ම අපි කලාව වෙත නැඹුරුවන්නේ සියලූම කාර්යයන් අවසන් වූ පසුව සිදුකරනු ලබන කාර්යයක් වශයෙනි. එමෙන්ම විවේකයක් ලද විට සිදුකළ යුතු කාර්යයක් වශයෙනි. නමුත් කලාවට නිරන්තර ප්‍රමුඛත්වය ලබාදී සමාජයෙන් ගිලිහී යන මානුෂිකත්වය කලාවෙන් මිනිසුන් වෙත ළඟා කරවන කලා සංස්කෘතියක් අප රට තුළ අද අදම බිහිවීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන යුගයකි මේ. 
මාධ්‍යකරුවාටද මෙම සමාජ සංස්කරණය කිරීමේ පූර්ණ වගකීමක් මෙන්ම සාධාරණ හැකියාවක්ද ඇත. එනිසා මාධ්‍ය වෙත මෙහිදී පැවරෙන වගකීම සුළුපටු නොවේ. මාධ්‍යයෙන් ප්‍රමුඛ ලෙසම සිදුවිය යුත්තේ පුද්ගලයාගේ නෛසර්ගික බුද්ධිමය විඥානය තව තවත් ප්‍රවර්ධනය කිරීමය. නමුත් අද්‍යතනයේදී මාධ්‍යයෙන් සිදුවන්නේ පුද්ගලයාගේ මනස සංවර්ධනය නොව මනස නිර්මාණය කිරීමයි. පුද්ගලයා ප්‍රාර්ථනා නොකරන ෆැන්ටසිමය ලෝකයක් වෙත බලහත්කාරයෙන්ම පුද්ගලයාව රැගෙන යාමයි. අද්‍යතන ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යද විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වෙමින් සමකාලීන ප්‍රශ්නවලම කොටසක් බවට පත්ව සිටී. ඕනෑම හොඳක් මෙන්ම ඕනෑම නරකක්ද මාධ්‍ය වෙතින් ප්‍රචාරය කරනුයේ සමාජ ප්‍රතිශෝධන අපේක්ෂාවෙන් නොව, මුල්‍යමය ලාභ අපේක්ෂාවෙනි. 

අද වනවිට දරුවන්, තරුණ තරුණියන් බොහෝ වේලාවක් ගත කරනුයේ ජංගම දුරකථන, ටැබ් පරිගණක, ටියුෂන් ක්ලාස්, ජිම්, ගේම් කැ‍‍‍ෆෙ වැනි ඒකක සමගයි. ගෙදර දෙමාපියන් ඇතුළු අනෙකුත් ඥාති හිතමිත්‍රාදීන් සමග කටයුතු කරන්නටවත් ඔවුන්ට කලක් වේලාවක් ඇත්තේම නැති තරම්ය. මිනිසුන් හුදෙකලා ලෝකවල තනිවී ස්මාර්ට් දුරකථනවල අන්තර්ජාල මුහුණුපොතේ උඩට පහළට යමින් කැමැත්ත (ලයික්) සොයන හා (ප්‍රතිචාර) කමෙන්ට් කරන හුදෙකලා ලෝකයක් නිර්මාණයවී තිබේ. දරුවාට මහපොළවේ ප්‍රායෝගික හාත්පස මගහැරී, යථාර්ථය සැගවී ෆැන්ටසිමය ලෝකයක මනෝරාජ්‍ය ගොඩනැගීමට හුරුවී ඇත. එවැනි දැක්මක්, විඥානයක් රහිත පිරිසකට සමාජ මාධ්‍ය නතු වූ විට සිදුවන්නේ අනතුරින් තවත් අනතුරක් සිදුවීම විනා අනතුර අවම වීමක් නොවේ. 

ආගමික පූජකවරුන්ටද සමාජ සාමූහික විඥානය ගොඩනැගීමේ ප්‍රබල වගකීමක් පැවරී තිබේ. එම සාමූහික විඥානය ගොඩනැගිය යුත්තේ ජාතිවාදී පදනමකින් නොවේ. පුද්ගල සාමූහිකත්වය ගොඩනැගීමේදී ආගම විසින් සිදුකළ යුත්තේ සියලුම ආගම්වලට ගරුකළ හැකි දියුණු දර්ශනයක් සහිත ජීවී අජීවි සියලුම සංකල්පවලට හෘදසාක්ෂියෙන් ආදරය කරන හා ගෙ!රවය කරන මිනිසෙකු බිහි කිරීමයි. එසේ නොමැතිව ආගමේ මුවාවෙන් විවිධ කල්ලි, බළකා බිහි කිරීමෙන් කිසිදු විටෙක සමාජයක් ප්‍රතිශෝධනය කළ නොහැකි අතර, එමගින් සිදුවන්නේ තවදුරටත් වෛරය හා ක්‍රෝධය සහිත පුද්ගලයින් සමාජගතවීමක් පමණි. 
අද්‍යතන සමාජයේ කුමන කලාපයක, මහද්වීපයක බිහිසුණු ජන සංහාර සිදුවීනම්, එමෙන්ම දැනටමත් සිදුවන්නේනම් ඒ සියල්ලටම මූලබීජය ආගමික අන්තවාදයේ අයහපත් ප්‍රතිඵලයි. ආගමකින් සිදුකළ යුත්තේ පුද්ගලයාට මනුෂ්‍යත්වය යළි යළිත් හුරු කරවීම විනා පුද්ගලයින් කෝපාවිෂ්ට කොට මනුෂ්‍යත්වය සංහාර කිරීම නොවේ. අද්‍යතනයේදී අප සමාජය හුරුවී සිටිනුයේ ලොව සෑම ආගමකම දර්ශනය වැරදි තැන්වලින් අල්ලා ගැනීමටය. ප්‍රතිපත්තිමය ආගමික ඇදහීමකට වඩා ප්‍රදර්ශනාත්මක ඇදහීමකටය. කුසට අහරක්, ගතට රෙදිකඩක් නොමැතිව සිටින අන්ත අසරණ මිනිසුන් ඕනෑතරම් මේ සමාජයේ සිටිනවිට ආගමික ස්ථානවල ලක්ෂ ගණනින් වටිනා රෙදිකඩවල්, අසීමිත දාන මාන, පළතුරු පූජා අතිරික්ත කුණුගොඩවල්වලට වැටෙනුයේ අන්න ඒ අනවබෝධාත්මක ආගමික අල්ලා ගැනීම් නිසාය.

අද්‍යතන සමාජය ඉතාමත් බරපතල අයුරින් ගමන් කරමින් සිටින්නේ මරණයේ, පළිගැනීමේ හා ආත්මාර්ථකාමීත්වයේ සංස්කෘතියක් වෙතය. සමාජයේ ඕනෑම ඒකකයකින් අත වනනුයේ ජීවිතය ජීවත් කරවන උදාර මනුෂ්‍යත්වය නොව. ජීවිතය විනාශ කරවන පුද්ගල නාශකත්වයය. සාමූහික පුද්ගල විඥානය ගොඩනැගීමේ පරම වගකීම ප්‍රධාන වශයෙන් සමාජයේ සුවිශේෂී ආයතන කිහිපයක් වෙත අප විසින් පැවරුවද මේ සියලුම ආයතන යටතේ පුද්ගලයින් වශයෙන් ක්‍රියා කරනුයේ ඔබ හා මම ඇතුළත් වන අපිය. අපට පුද්ගලයින් වශයෙන් මෙම කිසිදු ප්‍රශ්නයක් තවකෙකුට පවරා ඇඟ බේරා ගත නොහැකිය. මන්ද යත් අප මේ සාතිශය සමාජයේ තනි තනි සාමාජිකයින්ය. අප නියෝජනය කරන අපගේ පවුල එම සමාජයේ තවත් නියෝජනයක්ය. එබැවින් අනිවාර්යයෙන්ම අපිට අපේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමේ ප්‍රමුඛ වගකීමක් ඇත. 

විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් සර්වජන ඡන්ද බලය භාවිත කිරීමේදී හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නේද කියා අප අපගෙන්ම ප්‍රශ්න කර බැලීම වටී. අප සමාජය අදට සාපේක්ෂව හෙට දින සුහදශීලී සමාජයක් බවට පත්කිරීමටනම් පුද්ගලයින් වශයෙන් අප ඡන්ද බලය භාවිත කළ යුත්තේ මරණයේ සංස්කෘතිය වෙනුවට ආදරයේ, අවංකත්වයේ සංස්කෘතිය හඳුනන මිනිසුන් පිරිසක් වෙනුවෙන් නොවේද? නමුත් අප අද සිදුකරමින් සිටින්නේ කවරක්ද? දේශපාලනඥයාට වන්දනීයත්වයෙන් සලකමින් ලාභ අපේක්ෂා බලාපොරොත්තුවෙන් ගමේ චණ්ඩින් පිරිසක් අතට අපේ සමාජයේ පාලනය භාරදීමක් නොවේද?  
ඒ අනුව සමකාලීන සමාජ අර්බූද සඳහා විසඳුම් සෙවීම සිදුකළ යුත්තේ එම අර්බූදය නිසි ලෙස අවබෝධ කරගැනීමෙන්ය. පරමාර්ථයක්, නිනව්වක් නොමැති මිනිසුන් බිහිවී සිටිනුයේ සමාජ අර්බූදය දෙස අර්බූද මූලිකවම පමණක් බැලීමෙන් විනා අර්බූදය නිසි ලෙස අවබෝධ කරගැනීමෙන් නොව. අර්බූදයක් යනු අනිවාර්යයෙන්ම විසඳුමක් තිබිය යුතු කරුණකි. නමුත් එය අවබෝධ කරගැනීමෙන් තොරව එයට කිසිදා විසඳුමක්ද නොවනු ඇත. 

එබැවින් ලෝකයට දොස් පැවරීමෙන්වත්, තවකෙකුට ඇඟිල්ල දිගුකිරීමෙන්වත් මේවාට කිසිදා පිළිතුරු සෙවිය නොහැකිය. සමාජයේ වෙනසක් බලාපොරොත්තු වන අපි කළ යුත්තේ ඇති හැකි අයුරින් තනි තනිව හෝ ක්‍රියාත්මක වී, සමාජයේ  ප්‍රතිශෝධනය තමන්ගේම නිවසෙන් ආරම්භ කිරීමයි.   

@ කසුන් සී. තිලකරත්න

(2019.02.09 දිවයින පුවත්පතේ මෙම ලිපිය පළ විය)


Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)