ඔබේ "විහිළුව" තවත් කෙනෙකුගේ මානසික වධහිංසාවක් විය හැකියි

මදක් නැවතී හිතෙන් කියවන්න.....
(කාර්යාලයීය දෙපිට කැපෙන කතා සහ සීමාවන්)
"මම නිකන් විහිළුවටනේ කිව්වේ...",
"ඔයාට ඕකවත් තේරෙන්නේ නැද්ද? හරිම සීරියස් නේ!"
කාර්යාල පරිසරය තුළ දෙපිට කැපෙන කතා, අසභ්‍ය ඉඟි සහ වචන වලට වැරදි අර්ථකථන දී සිනාසෙන ඇතැම් පුද්ගලයන්ගේ මුවින් නිතර පිටවන නිදහසට කරුණු මේවාය. නමුත් එය සැබවින්ම "විහිළුවක්" පමණක්ද?
වෘත්තීයමය පරිසරයක් තුළ සෑම සේවකයෙකුටම සහ සේවිකාවකටම ගෞරවාන්විතව සහ ආරක්ෂිතව සේවය කිරීමේ අයිතියක් ඇත.
කට වාචාලකම සහ "විහිළුව" යන ලේබලයට මුවා වී සිදු කරන මෙම වාචික හිංසනයන් (Verbal Harassment) අද වන විට බොහෝ දෙනෙකු නිහඬව විඳදරාගන්නා බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ.
සාමාන්‍ය වචනයකටත් අසභ්‍ය අර්ථයක්! ඇතැම් පිරිමි සහ කාන්තා සේවකයින් පුරුද්දක් ලෙස සාමාන්‍ය සංවාදයකට පවා දෙපිට කැපෙන, ලිංගික ඉඟි සහිත වචන ඇතුළත් කරති. තවත් සමහරුන් අනෙකා කියන ඉතාම අහිංසක, සාමාන්‍ය වචනයකට පවා අසභ්‍ය අර්ථයක් ආරෝපණය කරමින් අපහසුතාවයට පත් කරති. මෙය කිසිසේත්ම බුද්ධිමත්භාවය හෝ විනෝදකාමී බව පෙන්වන ලක්ෂණයක් නොව, තමන්ගේම පටු මානසිකත්වය ප්‍රදර්ශනය කිරීමකි.
හැමෝම එක වගේ දරාගන්නේ නැත
අප සියලු දෙනාගේම මානසික ශක්තිය හෝ සංවේදීතාවය එක හා සමාන නැත.
මිනිසුන් හරිම සාපේක්ෂය, ඔබට හැකි දේ මට නොහැක. මට හැකිදේ ඔබට නොහැකිය. දරාගැනීම සහ ඉවසීමද එසේමය.
ඇතැමෙක් මෙවැනි කතා සිනහවකින් මඟහැර ගියද, තවත් කෙනෙකුට එය දැඩි මානසික පීඩනයක්, ලැජ්ජාවක් සහ කාර්යාලයට පැමිණීම පවා අප්‍රිය කරවන තරමේ වධයක් විය හැකිය.
තමන්ගේ රැකියාව අහිමි වේ යැයි ඇති බියට හෝ "කොන් වේවි" යන සිතුවිල්ල නිසා බොහෝ දෙනෙක් මේවාට විරුද්ධව කතා නොකර නිහඬව සිටිති.
මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයකි (GBV)
නීතිමය සහ සමාජීය වශයෙන් බලන විට, අනෙකාගේ අකමැත්තෙන් සිදු කරන මෙවැනි දෙපිට කැපෙන කතා සහ අසභ්‍ය විහිළු බොහෝවිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේ (Gender-Based Violence - GBV) එක් පැතිකඩකි. එය ශාරීරික හිංසනයක් නොවුණත්, වාචිකව සහ මානසිකව පුද්ගලයෙකුගේ ගරුත්වයට සහ ආත්ම අභිමානයට සිදු කරන බරපතල හානියකි.
බොහෝවිට පිරිමි පමණක් නොව, ඇතැම්විට ගැහැණූද මෙවැනි දෙපිට කැපෙන කතා පුරුද්දක් ලෙස කියති. එය ඔවුන්ගේ සමාජානුයෝජනය වීමේ දුර්වලතාවයකි. වෘත්තීයමය භාවයේ දුප්පත් භාවයකි. තැනක් නොතැනක් තේරුම්ගැනීමට ඇති සවිඥානිකත්වයේ සහ සහකම්පනයේ ගැටළුවකි. එනිසා මෙම සටහන කියවන අතරතුර ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න.
මම ජිවිතයේ කී දෙනෙකුගේ නම් අනවශ්‍ය විදිහට විහිළුවට හෝ හිත් රිදවා ඇතිද....
අහලා තියෙනවා නේද කතාවක්....ඇතැම් වචනවලට පුළුවන් මිනිස්සුන්ව වට්ටන්න...ඒවාට පුළුවන් මිනිස්සුන්ගේ අභ්‍යන්තරය සුනු විසුණු වෙන්න දේවල් කරන්න. අපිට එහෙම සහෘද මිනිසුන් මුණගැහිලා තියෙනවා...ඇස්වල කඳුළු පුරවන් එහෙම කතා අපිත් එක්ක එයාලා කියනවා..
මම ඔබට මෙසේ ආරාධනා කරන්නම්... ඔබට වෙනවට අකමැති කිසිම දෙයක් ඔබ තවකෙකුට නොකර ඉන්න උත්සහ කරන්න...ඒක හරිම සරලයි...තමන් උපමා කොට අනෙකාව දකින්න 'අත්තානං උපමං කත්වා'...බුදුන් වහන්සේගේ දේශනා කළෙත් එහෙමනෙ....
අප කළ යුත්තේ කුමක්ද?
සීමාව හඳුනා ගන්න:
ඔබේ වචන තවත් කෙනෙකු අපහසුතාවයට පත් කරන්නේ නම්, එතැනින් නවතින්න.
සැබෑ විහිළුවකින් සියලු දෙනාම සතුටු වන අතර, හිංසනයකින් සතුටු වන්නේ එය කරන පුද්ගලයා පමණි.
වැරදි දේට සිනා නොවන්න
කවුරුන් හෝ දෙපිට කැපෙන අසභ්‍ය කතාවක් කියූ විට එයට සිනාසීමෙන් හෝ අනුබල දීමෙන් වළකින්න. ඔබේ නිහඬතාවය හෝ අප්‍රසාදය ඔවුන්ට හොඳ පණිවිඩයක් වනු ඇත.
හඬ නගන්න: ඔබ මෙවැනි පීඩාවකට ලක්වන්නේ නම්, එය ඉවසාගෙන නොසිට අදාළ පුද්ගලයාට තම අකමැත්ත පැහැදිලිව ප්‍රකාශ කරන්න. අවශ්‍ය නම් ආයතනයේ මානව සම්පත් අංශයක් තිබේනම් (HR) දැනුවත් කිරීමට පසුබට නොවන්න.
කාර්යාලය යනු සියලු දෙනාටම ගෞරවයෙන් වැඩ කළ හැකි තැනක් මිස, කාගේවත් පහත් මානසික ආශාවන් සංසිඳුවා ගන්නා තැනක් නොවිය යුතුය. වචන වලින් මිනිසුන් තැලීම නවත්වමු.
ගෞරවනීය වැඩබිමක් නිර්මාණය කරමු!
කසුන් සී තිලකරත්න
මේ වගේ වැදගත් පණිවුඩ තව තවත් දැනගන්න, කියවන්න අපේ පේජ් එකත් Fallow කරන්න
Comments
Post a Comment